තරුණ ක්‍රිස්තියානි සංගමයේ සරුංගල් සැණකෙළිය අදයි!
පමුණුගම, සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමය : YMCA වාර්ෂිකව සංවිධානය කරන සරුංගල් සැණකෙළිය මෙවරත් කැපුන්ගොඩ සරක්කුව වෙරළේදී සැප්තැම්බර් 07 දා එනම් අද සවස් යාමයේදී , පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සංවිධායකයෝ ප්‍රකාශ කරති.
විවිධ හැකියාවන් ඇති හා නිර්මාණශීලි දරු දැරියන් සහ තරුණ තරුණියන් එකට ඒකරාශී කිරීම අරමුණු කරමින් ඒ සමගම සිය කුසලතාවන් යම් ආකාරයකින් සමාජයට ප්‍රදර්ශනය කිරීමෙහිලා අවස්ථාවක් සළසා දීම මෙම සරුංගල් සැණකෙළියේ ප්‍රධාන අරමුණ බව ඔව්හු මෝජෝ පුවත් වෙත පැවසූහ.
මීට පෙර අවස්ථාවලදී සාමය පරිසරය සහ සහෝදරත්වය තේමාකරගනිමින් මෙවැනිම සැණකෙළි පැවැත්වූ බවත් , මෙවර සරංගල් සැණකෙළිය කිසිඳූ වයස් භේදයකින් තොරව, පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර මිත්‍රශීලිව පැවැත්වෙන සැණකෙළියක් බව ද සංවිධායකයෝ පවසති.
පසුගිය වසරවලදී ලද ප්‍රතිචාරවලට අනුව, මේ වසරේදී ද සැණකෙළිය ඉතා හොඳ තරගයකින් සමන්විත වනු ඇතැයි සංවිධායකයින්ගේ විශ්වාසයි.
YMCA 2025 සරුංගල් සැණකෙළියේ පළමු ස්ථානයට රුපියල් 20,000.00 ක් ද, දෙවන ස්ථානයට රුපියල් 15,000.00 ක් ද, තෙවන ස්ථානයට රුපියල් 10,000.00 ක් ද, රුපියල් 2,000.00 බැගින් තවත් සැනසිළි ත්‍යාග 05ක් ද පිරිනමන බව සංවිධායකයෝ කීහ.
