ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අමාත්‍ය විජිත හේරත් හමුවෙයි

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය Maria Tripodi මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (04) එම අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, විශේෂයෙන් ම වෙළඳාම, ආයෝජන, සංචාරක, සංක්‍රමණ සහ ගුවන් සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු විය.

මෙහි දී අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ මෑත කාලීනව අත්කරගෙන තිබෙන ආර්ථික ප්‍රගතිය, දේශපාලන ස්ථාවරත්වය සහ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබීම පිළිබඳව පෙන්වා දුන්නේ ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වේගවත් දියුණුව කෙරෙහි ඉතාලියේ කාර්යභාරය පිළිබඳව ද අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ය.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ද මෙම හමුවේ දී සාකච්ඡා වූ අතර රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දීර්ඝකාලීනව මුහුණ පාමින් සිටින ගැටලුව විසඳාගත හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු විය.

END/GONP/MMP/05092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed