32 වසරක කතුවර ගුණ සැමරුම!

වසර 32ක් පුරාවට කතුවරයෙකු සේ සිංහල මාධ්‍යයෙන් පලකරන සගරා කිහිපයක් සමාජගත කිරිම සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදෙමින් මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සිදුකළ මෙහෙවර වෙනුවෙන් , “විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය” විසින් ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී ඒ. ෆ්‍රැන්ක්ලින් සනත් ප්‍රනාන්දු මහතා වෙත උපහාර දක්වමින් සමරු තිළිණයක් පිරිනමන ලදී.
2025 අගෝස්තු මස 02වන දා පස්වරුවේ දී, මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී “විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය” විසින් සංවිධානය කළ චාම් උත්සවයේ දී ෆ්‍රැන්ක්ලින් සනත් ප්‍රනාන්දු මහතා වෙත එම සමරු තිළිණය පිරිනමනු ලැබූ අතර, එම උත්සවය සඳහා විචිත්‍ර කලා කවයේ සියලුම සමාජික සමාජිකාවන් සහභාගී වුහ.
1993 වසරේ දී මහනුවර සෙටික් ආයතනයේ පියවර සගරාවේ සංස්කාරක ලෙස සිය සගරාමය වෘත්තීය ජීවිතය ආරම්භකළ ෆ්‍රැන්ක්ලින් සනත් මහතා, 2008 වසරේ සිට වර්තමානය දක්වා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය (සී.එස්.ආර්) විසින් ත්‍රෛමාසික සංග්‍රහයක් ලෙසට පළකරනු ලබන සාධාරණය සගරාවේ සංස්කාරක ලෙස සිය මාධ්‍ය කර්තව්‍ය ඉටුකිරීමෙහි ලා නිරතව සිටියි.
“ මම මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධවුණේ 1993 වසරේ දී මහනුවර “සෙටික්” ආයතනයේ අධ්‍යක්‍ෂක ගරු නන්දන මනතුංග පියතුමාගේ ආරාධනයකට අනුව “පියවර සගරාවේ” සංස්කාරක විධියට කටයුතු කරන්න. 2008 වසරේ දී මම සමාජය හා සාමයික කේන්ද්‍රයට සම්බන්ධ වුණා. එතැනදී මට පැවරුණු කාර්යය තමයි “සාධාරණ සගරාවේ” සංස්කාරක වශයෙන් වැඩකරන්න. ඉතිං මේ වන විට වසර 32ක් සගරා සංස්කරණයට දායකවෙලා තියෙනවා. යුක්තිය, සාධාරණත්වය, සාමයට අදාළව සමාජ මතවාදය ගොඩ නැංවීමට මගේ පෑන හැසිරවීම තමයි මගේ මුඛ්‍ය අරමුණ.” යනුවෙන් 32වසරක සිය මාධ්‍ය වෘත්තීය පිළිබඳව අදහස් දක්වමින් ෆ්‍රැන්ක්ලින් සනත් මහතා ප්‍රකාශ කළේය.
සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් දියත් කරනු ලැබූ විවිධ මාදිළියේ මාධ්‍ය වැඩමුලු හරහා පෝෂණය ලබාගත් සාමාජික සාමාජිකාවන් පස් දෙනෙකු විසින් මෙම විචිත්‍ර කලා කවය බිහිකර ගත් බව සිහිපත් කළ ෆ්‍රැන්ක්ලින් සනත් මහතා, වර්තමානයේදී විචිත්‍ර කලා සංගමය විවිධත්වයක් සහිත සාමාජිකයින් බොහෝ දෙනෙකුගේ තෝතැන්නක් බවට පත්වී ඇතැයි පැවසීය.
“මගේ දූත කාර්යය වෙනුවෙන් ඔවුන් සියලුම දෙනා එක්වී සිදුකළ මෙම උපහාරය මම බොහෝ ගරුකොට හෘදයාංගමව පිළිගන්නවා. සතුටු වෙනවා.” යැයි ඔහු පැවසීය.
විචිත්‍ර කලා කවයේ සාමාජීක දුමිඳු ප්‍රියදර්ශන විසින් මිහිරි බටනලා වාදනයක් ඉදිරිපත් කරමින් උත්සවය වර්ණ ගැන් වූ අතර, මාධ්‍යවේදී , සමාජ ක්‍රියාකාරී සාලිය ඉඳූරුවිතාන මහතා, ද්‍රවිඩ සාහිත්‍ය කලා විචාරක , සම්මානලාභී ආචාර්ය ඒ. ආයුබ් ඛාන් මහතා සහ ප්‍රවීන පුවත්පත් හා ග්‍රන්ථ ලේඛිකා, කලාකාරිණි වයලා අබේගුණවර්ධන මහත්මිය යන අය උපහාර උත්සවයෙහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කෙටි දෙසුම් පැවැත් වුහ.
වසර 30 – 40ක කාලයක් පුරාවට රාවණ අංගම් ශිල්පය පිළිබඳව කටයුතු කළ ආචාර්ය සිරි කොතලාවල මහතා වෙත 2024 වසරේදී විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයේ උපහාර පුදකළ අතර, 2025 වසරේ උපහාර සමරු තිළිණය පිදීම සඳහා සාධාරණ සගරාවේ සංස්කාරක හා කතෘ වශයෙන් කටයුතු කරන ඉතාම නිහතමානී , පරිණත කැපවුණු සේවයක් ඉටුකරන ෆ්‍රැන්ක්ලින් සනත් ප්‍රනාන්දු මහතාව තෝරාගත්තේ ඉතාම සතුටින් යැයි විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයේ සභාපති මෙන් ම සිනමා හා සාහිත්‍ය කලා විචාරක , නිදහස් මාධ්‍යවේදී ආර්. එම්. ලතීෆ් මහතා ප්‍රකාශ කළේය.
සමාජය හා සාමයීක කේන්ද්‍රය සැමවිටම අන් අයගේ හඩට සවන්දෙන හැමදෙනාට ම වේදීකාවක් සපයන ස්ථානයක් වූවා සේ ම , ඉන් සමාජගත කරන සාධාරණ සගරාවේ පවා අන් මතවලට සහ ආධූනීකයින් වෙත කතෘ සනත් ප්‍රනාන්දු මහතා සැමවිට ම අවකාශය ලබාදීම බොහෝසේ අගයකොට සළකන බව ද ආර්. එම්. ලතීෆ් මහතා පැවසීය.
මාධ්‍යවේදී , සමාජ ක්‍රියාකාරී සාලිය ඉඳූරුවිතාන මහතා ; වර්ථමානයේ දී ජනමාධ්‍ය භාවිතාවන ආකාරය පිළිබඳව අදහස් දක්වමින්, ඒ තුළ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරයත්, සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා චරිතය ලඝු වන ආකාරයත් පෙන්වා දෙමින් හුදෙක් බොහෝ සමාජ මධ්‍ය තමන්ගේ මාධ්‍ය වෙත ලයික්ස් වැඩිකර ගැනිමට, විව්ස් වැඩිකර ගැනීමට, ප්‍රසිද්ධ ලබාගැනීමට යනාදි යටි අරමුණු ඔස්සේ ඕනෑම ආකාරයක වාර්ථාකරණයන් හී නියැලෙන බව පැහැදිළි කළේය.
ඒ තුළ බොහෝ කාන්තාවන් විවිධ ආකාරයේ ගොඳුරු බවට පත්වන බවත් අධික ලෙස ලිංගික හිංසනයට ද ලක්වන බවත් උපදේශන සඳහා තමන් වෙත පැමිණෙන කාන්තාවන් ම ප්‍රකාශ කර ඇති බව සාලිය ඉඳුරුවිතාන මහතා කීවේය.
ප්‍රවීන පුවත්පත් හා ග්‍රන්ථ ලේඛිකා, කලාකාරිණි වයලා අබේගුණවර්ධන මහත්මිය ද සභාව අමතමින් කියා සිටියේ , “විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය විසින් පිදිය යුත්තන් පිදීම ගරුකොට සළකමින් සනත් ප්‍රනාන්දු මහතා වැනි නිහතමානී දක්‍ෂ කතුවරයෙකු වෙනුවෙන් මෙවැනි උපහාර පිදීමක් සූදානම් කිරීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. මොකද, මෙවැනි අගය කිරිම් ලේඛණ කලාව ඉදිරියට ගෙනයන්න මහත් ශක්තියක් ,සතුටක් ලබාදෙනවා.”
එමෙන් ම එනෙකට වෙනස් විවිධ වූ කලා ක්‍ෂේත්‍ර පිළිබඳව එකට සිට සංවාද කරන්නට, වර්ධනය කරගන්නට මෙන්ම ඇගයීමටත් සරිලන වේදිකාවක් ගොඩනැගීම පිළිබඳව විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයට ස්තූතිය පුදකර සිටින බව ද ඇය පැවසීය.
ද්‍රවිඩ සාහිත්‍ය කලා විචාරක, සම්මානලාභී ආචාර්ය ඒ. ආයුබ් ඛාන් මහතා ද සභාව අමතමින්; “සිංහල මුස්ලිම් ද්‍රවිඩ හෝ බෞද්ධ , ක්‍රිස්තියානි , හින්දු හෝ ඉස්ලාම් කියන කිසිම භේදයකින් තොරව සියලු ම ජාති ආගම්වලට අයත් කලාකරුවන් ඒකරාශී වී ගමනක් යන විචිත්‍ර කලා කවය සංගමයේ ඒ විවිධත්වය තමන් ඉතා ඉහළින් අගය කරන බවත්, එය ආදර්ශමත් සංඛේතයක් වන අතර, අප රට තුළ විවිධ ජාතීන් විවිධ ලබ්ධිකයින් අතර තේරුම්ගැනිම , එකමුතුකම සහ සමගිය වර්ධනය කිරීම සඳහාත් මෙය එක්තරා ආකාරයක වේදිකාවක්” බවත් ප්‍රකාශ කළේය.
ආර්. එම්. ලතීෆ් මහතාට අනුව, ශ්‍රී ලාංකීය කලාව හා සංස්කෘතිය දියුණුකිරීම අරමුණු කරගනිමින් 2001 වසරේදී මෙම විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය ආරම්භ කර ඇත.
සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා