ලොකු ලූනු මිලට ගන්න රජයෙන් යාන්ත්‍රණයක්!

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ලොකු ලූනු ගොවීන් අතර පැවැති සාකච්ඡාවක ඉදිරි පියවර ලෙසට, දේශීය ගොවියාගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී ඒ සඳහා අවම මිලක් නියම කිරීමටත්, රජය විසින් ලොකු ලූනු මිලදීගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සහ විකුණුම් සහතික මිලක් නියම කිරීම සම්බන්ධ යෝජනාවක් ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. බත්තරමුල්ල පිහිටි ගොවිජන මන්දිරයේදී අදාළ සාකච්ඡාව පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී, සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙසත්, ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 100ක බද්දක් පනවන ලෙසත් ලොකු ලූනු ගොවීන් ඉල්ලා ඇත. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමට අදාළව යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ වනවිට හෙක්ටයාර් දෙදහසක (2,000)ක පමණ භූමි ප්‍රමාණයක ලොකු ලූනු වගාකර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු ලූනු බීජ නායක ඩී.ආර්. කාංචන මෙහිදී පවසා ඇති අතර, මෙමස 15 වැනිදායින් පසු ලොකු ලූනු අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භවීමට නියමිත බවද එම නිසා දේශීය ලොකු ලූනු අස්වැන්නෙන් සියයට හැත්තෑපහක් (75%) ක් පමණ ලබන සැප්තැම්බර් මාසය අවසන් වනවිටදී වෙළෙඳපොළට ලැබීමට නියමිත බවද සඳහන් කළේය.

END/MMP/07082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *