ආදිවාසී ජන ගැටලු සම්බන්ධ සන්දේශයක් ජනපතිවරයාට ඉදිරියේදී. – නදීක දයා බණ්ඩාර

සිය ගැටලු සම්බන්ධ යෝජනාවලියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරියේදී භාර දෙන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසයි.

ජනාධිපතිවරයා බිම්තැන්න ප්‍රදේශයේ සහභාගීවන වැඩසටහනකදී මෙම සන්දේශය භාර දීම අපේක්ෂා කරන බව ද නායකවරයා පැවසුවේය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා ආදිවාසී ජනයා විසින් වාර්ෂීකව සිදුකරන මී පැණි පූජාවට සහභාගිවෙමින් ඌරුවරිගේ වන්නිලැත්තන් මේ බව සඳහන් කළේය. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර විදි සංචාරය කරන දින පෙරවරුවේ දළදා සමිදුන් උදෙසා මී පැණි පූජා කරන අතර එදින රාත්‍රී පෙරහැර නැරඹීම සඳහා මෙම කණ්ඩායම එක්වීම ද සිරිතකි.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසී නායකවරයා ඇතුලු කණ්ඩායම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්නා ලදි. අනතුරුව දළදා වහන්සේ උදෙස මී පැණි පූජා කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ වන්නිලැත්තන් අද වන විට අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටමක් නිර්මාණය වී ඇතැයි කීවේය.

අලියන් ජීවත් වන වනාන්තරය මිනිසුන් ආක්‍රමණය කිරීම නිසා අලියන්ගේ ජීවිත අවදානම වැඩිවී ඔවුන් ගම් වැදිම සිදුවන බවත් මේ හේතුවෙන් මිනිස් අලි ගැටුමක් මතුවී ඇතැයි ද නායකයා කීවේය. තමන් නෙළා ගන්නා ලද මී පැණි කොටසක් පවා අලියන් අනුභව කොට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ සිට ආදි වාසී ජනයා විසින් මී පැණි පූජා කරන බවත් තමන් ද වසර විස්සකට අධීක කාලයක් මෙම සම්ප්‍රදාය ඉටු කරන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පැවසූහ.

දඹාන ආදාවාසි ගම්මානයේ 75ක පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූ අතර ඔවුන් සඳහා ත්‍යාග ලබාදීමද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදුකරන ලදි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *