වසරේ මේ දක්වා පොලිසියේ 300කගේ වැඩ තහනම් – හිරුණි ලක්ෂිකා

මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එමෙන්ම පසුගිය වසරේ (2024) 200ක පමණ නිලධාරීන් සංඛ්‍යාවකගේ වැඩ තහනම් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේ වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියා හැඟීමක් නොමැති නිසා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඇතැම් පිරිස් අවුරුදු 25ක් සේවයේ සිට තම තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගතවන අවස්ථා ද තිබෙන බවයි ඔහු පැවසුවේ.

පාලක ජෙනරාල්, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් යන තනතුරු මුලට මේ වනවිට වැඩබලන යන නාමය සඳහන්වන බවත්, එසේ වීමට හේතු වී ඇත්තේ ආගමන පාලක ජෙනරාල්වරයා සිරගතවීමද, පොලිස්පතිවරයා සිරගත වී ඇප ලබාගෙන සිටීම ද, බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාර ගත වී ඇප ලබා නිදහස් වී සිටින නිසා බවත්, අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමනිසා රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඒ සෑම තරාතිරමක කෙනෙකු නීතිවිරෝධි ලෙස කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *