ලංකා ධීවර සංස්ථාවේ 91 වන CeyFish අලෙවිසැල වාද්දුවේදී විවෘත කෙරේ

රට පුරා නැවුම් මසුන් බෙදා හැරීමට නව පියවරක්
ලංකා ධීවර සංස්ථාවේ නවතම, 91 වන CeyFish අලෙවිසැල, ඊයේ (ජූලි 22) කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, දුම්රියපොළ පාරේදී උත්කර්ෂවත් අයුරින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන්, ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ, සකසන ලද මසුන් මහජනතාවට පහසුවෙන් ලබාගත හැකි මිලකට ලබා දීම සංස්ථාවේ අරමුණ බවත්, ඒ අනුව ග්‍රෑම් 300 සහ 400 පැකට් වශයෙන් “වැකියුම් පැක්” කර සතොස හරහා දිවයින පුරා බෙදා හරින බවයි.
ධීවර සංස්ථාවට ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 20 ක් යටතේ ප්‍රාදේශීය කාර්යාල පිහිටා ඇති අතර, ඒවාට අනුයුක්තව වෙළඳසැල් 90 ක් ක්‍රියාත්මක වේ. අද විවෘත කරන ලද වාද්දුව අලෙවිසැල 91 වන Cey Fish අලෙවිසැල වන අතර, තවත් අලෙවිසැල් 9 ක් ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
සංස්ථාවේ ප්‍රධාන අරමුණ වන්නේ, ධීවරයාට සාධාරණ මිලක් ලබා දෙමින්, ඉතාමත්ම සෞඛ්‍යාරක්ෂිතව මසුන් ප්‍රවාහනය කර රට අභ්‍යන්තරයට ගෙන ගොස්, සෑම පුරවැසියෙකුටම සාධාරණ මිලකට ලබාගත හැකි වන පරිදි බෙදා හැරීමයි. මෙය රජයේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තියට විශාල රුකුලක් සපයන බව මාර්ක් මහතා අවධාරණය කළේය. ප්‍රෝටීන් බහුල මත්ස්‍ය ආහාරය, මන්දපෝෂණයෙන් පෙළෙන කුඩා දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට පෝෂණීය ආහාරයක් ලෙස වැදගත් වන බවද ඔහු සඳහන් කළේය. සංස්ථාව විසින් ලබා දෙන 300g සහ 400g පැකට් මගින් පාරිභෝගිකයාගේ සාක්කුවට පහසුවක් සැලසෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ලංකා ධීවර සංස්ථාව සියලුම අලෙවිසැල් හරහා සපයන මසුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි පාලනයක් සිදුකරන බව මාක් මහතා තරයේ කියා සිටියේය. “හොඳ දේවල් ලාභ නැහැ, ලාභ දේවල් හොඳ නැහැ” යන චීන කියමන උපුටා දක්වමින්, සංස්ථාව කිසිවිටෙකත් අඩු ගුණාත්මකභාවයෙන් යුත් මසුන් ලබා නොදෙන බවත්, සියලුම මසුන් නැවුම්, හොඳම තත්ත්වයේ පවතින බවත් පැහැදිලි කළේය. රෝහල්, වරාය අධිකාරිය, බන්ධනාගාර සහ නාවික හමුදාව වැනි ප්‍රධාන ආයතනවලට මසුන් සපයන බවත්, එය සංස්ථාවේ මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව ඔවුන් තබා ඇති විශ්වාසය මනාව පෙන්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.