ගාසා දරුවන් ඊශ්‍රායල් ප්‍රහාරවලට ගොදුරු වෙති!

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මියගොස් සිටින බව විදෙස් මාධ්‍ය ‍ වාර්තා කරයි.

මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් – බලාහ් නගරයේ සෞඛ්‍ය සායනයක ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තබා ඇති අතර, එහිදි කාන්තාවන් ළමුන් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මිය ගිය කුඩාම ළමයාගේ වයස අවුරුදු 2ක් වන අතර, මිය ගිය වැඩිම වයසකින් යුත් ළමයාගේ වයස අවුරුදු 14ක් වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම සිද්ධියෙන් විපතට පත් ළමුන්ගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.  මෙවැනි වෙඩි තැබීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

එහෙත් ඊශ්‍රායලය සිදුකරන එවැනි විමර්ශනවලින් මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නැති බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය, ගාසා තීරයට මේ ආකාරයට ඊශ්‍රායල හමුදාවලින් අඛණ්ඩ ප්‍රහාර එල්ල වන්නේ ගාසා වැසියන් අවතැන් කිරීම සඳහා ඊශ්‍රායලය සහ අමෙරිකාව සැලසුම් ඉදිරිපත් කරන පසුබිමක බව සඳහන් කරයි.

ගාසා තීරයේ විවිධ ප්‍රදේශවලට ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 82කි. මධ්‍යම ගාසා තීරයේ වෛද්‍ය සායනයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය 15 දෙනා ද ඊට ඇතුළත්ය.

වෛද්‍ය ප්‍රතිකාර සහ පෝෂණ සැපයුම් ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටියදී වෙඩි පහරට ලක්ව මිය ගිය 15 දෙනාට ළමයින් 9 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ඇතුළත් වේ.

සාම සාකච්ඡා මගින් එකඟතාවයකට පැමිණෙන ලෙස ඊශ්‍රායලය එල්ල වන බලපෑම ඉහළ යද්දී ඔවුන් ගාසා තීරය වෙත ප්‍රහාර උත්සන්න කිරීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකිය. ගාසා හී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ ආකාරයට පසුගිය මාසය තුළ පමණක් ගාසා තීරණයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 3000කට අධිකය.

END/MMP/11072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *