තොරතුරු කොමිෂන් සභාවට ඉක්මනින් සභාපතිවරයෙකු පත් කරන්න , පැෆරල්   ඉල්ලයි – මොහොමඩ් ආසික්

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන්  සභාවේ දැනට පුරප්පාඩු වී ඇති සභාපති ධූරය සඳහා සුදුසු  අයෙකු ඉක්මනින් පත් කරන ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

දශක 3 කට ආසන්න කාලසීමාවක් සමාජය තුළ සංවාදයට ලක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත ලෙසින් නෛතික රාමුවට එකතු වීම පුරවැසියන්ගේ පාර්ශවයෙන් ලද සුවිශාල ජයග්‍රහණයක් බව අවිවාදිතය. විශේෂයෙන්ම අල්ලස හා දූෂණය වැළැක්වීම වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හා පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු සමාජගත කිරීම හරහා මෙතෙක් නොවූ විරූ තොරතුරු සංස්කෘතියක් සමාජය තුළ ස්ථාපිත වූ අතර එය මෑතකාලීනව පුරවැසියන් අභ්‍යාස කළ බලවත්ම අවිය බවට පත්විය.

කෙසේ නමුත් පස්දෙනෙකුගෙන් සමන්විත තොරතුරු කොමිෂන් සභාවේ සාමාජිකයින්ගෙන්, සභාපතිවරයා ඉවත් වීම හේතුවෙන් එක් පුරප්පාඩුවක් නිර්මාණය විය. එකී පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහා අයදුම්පත් කැඳවන ලද අතර මේ වන විට අයදුම්පත් කැඳවීමට අදාළ අවසන් දිනයද ඉක්ම ගොස් මාස 3 කට අධික කාලසීමාවක් ගතව ඇතත් එකී පුරපප්පාඩුව සඳහා සුදුස්සෙකු ව්‍යවස්ථාදායක සභාව විසින් නම් නොකිරීම හේතුවෙන් සමාජයට අති මහත් ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාදුන් තොරතුරු කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයට ඉමහත් බාධාවක් වී ඇති බව අපගේ නිරීක්ෂණයයි. වෙනත් කොමිෂන් සභාවල මෙන් නොව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සමාජිකයින් නම් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන අතර ඔවුන් අතරින් සුදුසු අයෙකු සභාපතිවරයා ලෙස නම් කිරීම ජනාධිපතිවරයාට පැවරෙන වගකීමකි. ඒ අනුව දැනට පුරප්පාඩුව ඇති කොමසාරිස් ධූරය සඳහා සමාජ ගෞරවයට පාත්‍රවූ අතීත භූමිකාවන් පිළිබඳව චෝදනා නොමැති දැක්මක් සහිත පුද්ගලයෙකු යෝජනා කිරීම ව්‍යවස්ථාදායක සභාවේ හමුවේ ඇති අත්හල නොහැකි වගකීමක් වන්නේය. ඉන්පසු දැනට කොමිෂන් සභාවේ සිටින සාමාජිකයින් සිව්දෙනා අතරින් අයෙකු හෝ අළුතින් පත්වන සාමාජිකයා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට අභිලාශය සැලසෙනු ඇත. විශේෂයෙන්ම 10 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මෙන්ම සිවිල් සාමාජය නියෝජනය කරනු ලබන සාමාජිකයින්ගේ වගකීම විය යුත්තේ වඩා සුදුසුම පුද්ගලයා පුරප්පාඩුව ඇති කොමසාරිස් ධූරය සඳහා යෝජනා කිරීම බව අප විශ්වාස කරමු.

උක්ත කරුණ පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ කඩිනම් අවධානය යොමු කර පුරප්පාඩුව ඇති කොමසාරිස් ධූරය සඳහා සැමදෙනාගේම පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ, අතීත භූමිකාව තුළ චෝදනා එල්ල නොවූ සහ එකී කර්තව්‍ය ඉටු කිරීම සඳහා ධාරිතාව සහිත තැනැත්තෙකු පත් කිරීමට අවැසි කඩිනම් පියවර ගන්නා ලෙසත් සම්පූර්ණ වන කොමිෂන් සභාවේ සාමාජිකයින් අතරින් වඩා සුදුසුම පුද්ගලයා සභාපතිවරයා ලෙස නොපමාව පත් කිරීමටත් එකී කොමිෂන් සභාවේ කාර්ය හා කර්තව්‍ය වඩා හොඳින් ඉටු කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය හා අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙසත් ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉමහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි යැයිද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා තව  දුරටත්  ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *