පූජාපිටිය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් වෙයි. – මොහොමඩ් ආසික්

වර්තමානයේ පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය නිසා ගැටළු රැසක් මතු වී ඇති බැවින් මින් ඉදිරියට පළාත් පාලන මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්විය යුතු බවට පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ  අද 08 වනදා පැවැති මහ සභා රැස්වීමට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.

පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම අද 08 වනදා පෙරවරුවේ එහි සභාපති සංජීව එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  නියෝජිත අරුණ ශාන්ත විජේරත්න   මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ කීය.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් අරුණ ශාන්ත විජේරත්න මහතා සඳහන් කළේ වර්තමානයේ පවතින ඡන්ද ක්‍රමය නිසා මේ වන විටත් සභාපතිවරුන් පත් කර ගත නොහැකි සභා පවතින බවත් එයට හේතුව වී ඇත්තේ මැතිවරණ ක්‍රමයේ පවතින අවුල බවත් ඒ නිසා පළාත් පාලන මැතිවරණය මින් ඉදිරියට පැරැණි සමානුපාත ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට යෝජනාවක්  සම්මත කර රජය වෙත ඉදිරිපත් කළ යුතු බවත් කීය

  මෙම යෝජනාවට පක්ෂව මෙන්ම විපක්ෂවද  සභිකයින් අදහස් දැක්වීම නිසා ඒ සඳහා සභාවේ තීරණය අනුව සභාපතිවරයා විසින් ඡන්ද විමසීමක් සිදු කරනු ලැබීය. ඒ අනුව පැවැති විවෘත ඡන්දයේදී එම යෝජනාවට පක්ෂය ඡන්ද 13 ක් සහ යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබී  තිබිණ.

මෙම ඡන්ද විමසීම සභාවේ ලේකම් කුෂානි ජයරත්න මහත්මිය විසින් පවත්වනු ලැබීය.

.

ඒ  අනුව පළාත් පාලන මැතිවරණය මින් ඉදිරියට පැරැණි මනාප ක්‍රමය  අනුවම පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභික අරුණ ශාන්ත විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ  යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන එක්  නියෝජිතවරියන් සභාවට පැමිණ සිටියේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *