සීගිරිය ගල් පඩි අනතුරේ!

සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ක්ෂය වෙමින් පවතින බව සිය අධීක්ෂණයක් යටතේ කරුණු දක්වමින් බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි පැවසීය.
සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස ගල් පඩිපෙළ ක්ෂය වීමට ලක්ව ඇතැයි පැවසූ ඇමැතිවරයා, ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළහැකි ද යන්න පිළිබදව කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද පැවසීය.
ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් (60%) ක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී (2026) පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
එබැවින්, සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම පැවසුවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මේ බව සඳහන් කළේය.