සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධවලට ලාංකිකයින් ගොදුරු වීමේ ‘ශීඝ්‍ර වර්ධනයක්’: ඔබත් වින්දිතයෙක් ද?

සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන විවිධ වූ අපරාධවලට ශ්‍රී ලාංකික පුරවැසියන් ගොදුරු වීමේ “ශීඝ්‍ර වර්ධනයක්” පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

පොලිසිය පවසන්නේ Facebook, WhatsApp, Telegram, Skype සහ WeChat ආදී සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන අපරාධවලට මෙලෙස ලාංකිකයින් ගොදුරු වීමේ “ශීඝ්‍ර වර්ධනයක්” පෙන්නුම් කරන බව ය.

මෙවැනි වංචා සිදු කිරීම සඳහා එම අපරාධකරුවන් ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිත කරනු ලබන බව ද පොලිසිය පෙන්වා දෙයි.

පළමු ක්‍රමය

පොලිසිය පවසන පරිදි පළමු ක්‍රමය වන්නේ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිවසේ සිට රැකියා කරමින් විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළ කර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම් දීමක් සිදු කිරීමයි.

මුල් පියවර ලෙස මෙම ආයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට වංචාකරුවන් විසින් දැනුම් දෙනු අතර එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබා දීම සිදුකරනු ලබයි.

මෙලෙස අවස්ථා කිහිපයකදී වංචාකරුවන් විසින් ආයෝජකයාට ප්‍රතිලාභ වැඩි කරමින් ලබා දෙනු ලබන බව පොලිසිය පවසයි.

මෙවැනි පියවර හරහා පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තවත් ආයෝජන අවස්ථා ඇති බව පවසමින් විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලෙසට වංචාකරුවන් ආයෝජකයින්ට උපදෙස් ලබා දෙයි.

මේ ආකාරයෙන් මුදල් තැන්පත් කරවාගනු ලබන්නේ දේශීය බැංකුවල ඇති ගිණුම්වලට බව ද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව, වැඩි මුදල් ප්‍රමාණයක් අවස්ථා කිහිපයකදී ඉහත පරිදි තැන්පත් කළ ද ඒ සඳහා ලැබිය යුතු ප්‍රතිලාභ ආයෝජකයින්ට ලබා නොදෙයි.

ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් ආරක්ෂක බදු, රේගු ගාස්තු වැනි ගාස්තු ගෙවිය යුතු බව සහ ඒ සඳහා අමතර මුදල් යොදන්නේ නම් ප්‍රතිලාභ ලබා ගත හැකි යැයි වංචාකරුවන් එහිදී දැන්වීම සිදු කරයි.

ඒ අනුව, තවත් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන ලෙසට එම වංචාකරුවන් ආයෝජකයින්ට දැනුම් දෙන බව පොලිසිය පවසයි.

දෙවන ක්‍රමය

සමාජ මාධ්‍ය ඔස්සේ වංචා සිදු කරන දෙවන ක්‍රමය ලෙස පොලිසිය පෙන්වා දෙන්නේ, නිවසේ සිට රැකියා ලබා ගෙන විශාල මුදල් ප්‍රමණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළ කර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංක ලබා ගැනීමයි.

අනතුරුව අපරාධකරුවන් එම ගිණුම්වලට බැර වන මුදල් සමාජ මාධ්‍ය ජාල මගින් දැනුම් දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙස ගිණුම් හිමියන්ට දැනුම් දෙන අතර ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමියාට ලබා දීම සිදු කරන බවත් පොලිසිය පවසයි.

ඒ අනුව, මීට ගොදුරු වන පුද්ගලයින් නොදැනුවත්ව ම කළු සල්ලි සුදු කිරීමේ මූල්‍ය වංචාවට හා අපරාධයකට ආධාර අනුබල දීමේ වරදට හසුවන බව පොලිසිය පෙන්වා දෙයි.

නවීන තාක්ෂණය භාවිතය

මෙම අපරාධ සිදු කරනු ලබන අපරාධකරුවන් මෙරට හෝ විදේශ රටවල සිටිමින් නවීන තාක්ෂණය භාවිත කරමින් ඉන්ටර්නෙට් ඔස්සේ මෙම වංචා සිදු කරන බව වැඩිදු විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

Facebook, WhatsApp, Telegram, Skype සහ WeChat ආදී සමාජ ජාලා යොදා ගනිමින් සිදු කරන අපරාධ පිළිබඳ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වීම මත මෙම අපරාධකරුවන් අපරාධ සිදු කර නීතියේ රැහැනෙන් ගැලවී යන බවට නිරීක්ෂණය වී ඇති බව ද පොලිසිය පවසයි.

මේ දේවල් කරන්න එපා!

ඉන්ටර්නෙට් ඔස්සේ සිදුවන වංචාවලින් ආරක්ෂා වීමට මහ ජනතාව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කරයි.

ඒ අනුව;

  • විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් සහ Facebook, WhatsApp, Telegram, Skype හා WeChat ආදී සමාජ ජාලා මගින් විවිධ පුද්ගලයන්ගේ නම්වලින් පෙනී සිටින ගිණුම් හරහා පළ කරන දැන්වීම්, විවිධ වෙබ් අඩවි වෙත පිවිසීමට ලබා දෙන සබැඳි (link), නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු නොකිරීම,
  • තම බැංකු ගිණුම් විස්තර, නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නාඳුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවන පාර්ශවයන් විසින් ලබා දෙනු ලබන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකිරීම,

ආදී උපදෙස් අනුගමනය කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම පුවත සම්පූර්ණ ඡායාරෑප සමග කියවීම සදහා පහත බීබීසී ලින්කුව ඔස්සේ කියවන්න!

උපුටා ගැනීම – https://www.bbc.com/sinhala/articles/ce83g3m5v77o

END/BBC/MMP/01072025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *