සතියකින් කසළ ඉවත් කර නෑ කටුගස්තොට ආර්ථීක මධ්‍යස්ථානයේ කසළ කඳු ගොඩ ගැහිලා (මොහොමඩ් ආසික්)

කටුගස්තොට ආර්ථීක මධ්‍යස්ථානයේ සතියකට වැඩි කාලයක් කසළ ඉවත් නොකිරීම නිසා ආර්ථික මධ්‍යස්ථානය පුරා කසළ ගොඩ ගැසී නරක් වෙමින් පවතින බව එහි ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.
මහනුවර මහ නගර සභාව යටතේ පාලනය වන කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ කසළ ඉවත් කිරීම ද මහ නගර සභාව විසින් සිදු කරනු ලබයි.
දිනපතා කිලෝ ලක්ෂ ගණනක එළවළු වෙළඳාමක් සිදු වන කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය මගින් ඉවත් කරනු ලබන කසළ ප්‍රමාණයද ඉති විශාල බවත් ඒවා දෛනිකව ඉවත් නොකිරීම නිසා එළවළු සහ පළතුරුවලින් ඉවත් කරන කොටස් නරක් වී දුගඳ හමන බවත් එම ව්‍යාපාරිකයෝ සදහන් කරති.
මෙහිදී අපට හමු වූ ඩී.බී.ජයසිංහ මහතා මෙසේ කීය.
“ ආර්ථික මධ්‍යස්ථානයේ කසළ ගැටළුව දැනට මාසයක විතර ඉඳලම තියෙනවා. හරියට වැඩක් වෙන්නේ නෑ. නගර සභාවෙන් ඇහුවහම කියන්නේ සේවකයෝ නෑ වාහන කැඩිල වගේ දේවල්. මේ කසළ ඉක්මනින් ඉවත් වෙන්න ඕන සතියක් දෙකක් ගියහම මේක කුණු වෙලා ගලනවා. ආර්ථීක මධ්‍යස්ථානයට එන පාරිභෝගිකයාට කරදරයක්. බඩු ගන්න විදිහක් නෑ. අපට දෙන්න විදිහකුත් නෑ.“
දිලානි මෙන්ඩිස් මහත්මිය මෙසේ කීවාය.
“ මේ කසළ ඉවත් නොකිරිම නිසා අපි විශාල වශයෙන් ලෙඩ රෝගවලට පත් වෙන්න පුළුවන්. මේ කුණු අදින්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.අපි උදව් කළා වුනත් සේවක පිරිස අඩුයි කියල තමයි කියන්නේ. ඒ ගොල්ල කියන කියන විදිහට අපි උදව් කළාට දැන්නම් තියෙන්නේ හොඳම නැති මට්ටමක. මොන ලෙඩක් හැදෙනවද කියන එක හිතා ගන්න බැරි විදිහටයි තියෙන්නේ“
දිනේෂ් කුමාරද සිල්වා මහතා මෙසේ කීය.
“ අපේ වෙළඳ සැල් ආසන්නයෙත් විශාල වශයෙන් එළවළුවලින් ඉවත් කරන කොටස් ගොඩ ගැහෙනවා. කලින් නම් දිනපතා මේවා ඉවත් කරනවා.අපි නව රජයෙනුත් බලාපොරොත්තු වුනේ මේ දේවල් කලින්ටත් වඩා ඉක්මනින් සිදු වෙයි කියලයි.මේකට හොඳ විසඳුමක් ලබා දෙන්න නගරාධිපති තුමා ඇතුළු නගර සභාව සහ නිලධාරින් කටයුතු කළ යුතුයි කියලයි කියන්න තියෙන්නේ“
මහනුවර මහ නගර සභාවේ උසස් නිලධාරිණියකගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට සඳහන් කළේ, මහනුවර මහ නගර සභාව සතුව පවතින උග්‍ර සේවක හිඟය සහ වාහනවල දෝෂ ඇති වීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ කසළ ඉවත් කිරීම දින කිහිපයක් ප්‍රමාද වී ඇති බවත් ඉතා ඉක්මනින් එය යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත්ය. කෙසේ නමුත් කසළ ඉවත් කිරීම පහසු වීම සඳහා ඒවා වෙන් කර ලබා දෙන ලෙස ව්‍යාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවද එම උසස් නිලධාරිණිය සඳහන් කළාය.