අවුල් ගොඩක් මැද ගාල්ල නගර සභාව , නගරාධිපති පත් කරයි

පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (20) සමත්වූ අතර ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හල්විටිගල ගමගේ සුනිල් මහතා නගරාධිපති තේරීමේ රහස් ඡන්දයෙන් නගරාධිපතිධූරයට පත්වූයේ ය.
විශේෂ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල මහ නගර සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අද(20) රැස්විය. පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිම පක්ෂයකට 50%කට වැඩි නියෝජනයක් නොලැබීම හේතුවෙන් නගරාධිපතිවරයා තෝරාගැනීම මෙහිදී සිදුවිය. නගරාධිපතිධූරය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මොහාමඩ් මවුසුප් මොහොමඩ් මහතා සහ ජාතික ජන බලවේගයේ හල්විටිගල ගමගේ සුනිල් යන දෙදෙනාගේ නම් යෝජනා කෙරිණි.
නගරාධිපතිධූරයට නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් ඣන්ද විමසීමක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කළාය. එම අවස්ථාවේ දී ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පවත්වන්නේ ද රහස් ඡන්දයක් ලෙස පවත්වන්නේ ද යන්න තීරණය කිරීමේ දී ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර අනිකුත් පක්ෂ විවෘත ඡන්දයක් ඉල්ලා සිටීම හේතුවෙන් විශේෂ කොමසාරිස්වරිය ඒ සඳහා නම් අඩගසා කොළයක තම මතය ප්‍රකාශ කරන ලෙස දන්වා සිටියාය. එය රහස් ඡන්දයක ආකාරයෙන් පැවැත්විණි.
නගර සභාවට තේරීපත්ව සිටින සභිකයන් ඒ අනුව සිය මතය ප්‍රකාශ කළ අතර එහි දී රහස් ඡන්දයක් තබන්න යැයි සභිකයන් 19ක් යෝජනා කර තිබූ අතර සභිකයන් 17 ගේ යෝජනාව වූයේ විවෘත ඡන්දයක් තැබිය යුතු බවයි.
මේ අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් ඇති විය. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු නැගිට පොදු ජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා සමඟ බහින්බස්වීමක් ඇතිකරගත් අතර ඔවුන් සභාවෙන් නැගිට යන බව ද ප්‍රකාශ කළහ. මේ අතර සභාව එකම ගාලගෝට්ටියක් වෙද්දී පොලිස් නිලධාරීන් ද කැඳවූ කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය.
ඉන් අනතුරුව සභාව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැත. සභාවේ ඝන පූර්ණය පැවතීම හේතුවෙන් සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට කොමසාරිස්වරිය තීරණය කළ අතර සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි.
එහි දී ජාතික ජන බලවේගයෙන් නගරාධිපතිධූරයට තරඟ කළ සුනිල් ගමගේ මහතාට ඡන්ද 19ක් හිමි වූ අතර සමගි ජන බලවේගයේ නියෝජිතයාට කිසිදු ඡන්දයක් හිමිව තිබුණේ නැත. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබිණ.
මේ අනුව ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සුනිල් ගමගේ මහතා පත්විය.
නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පොදු ජන එක්සත් පෙරමුණේ නියෝජිත හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා නිතරඟයෙන් තේරීපත්විය.