මැණික් හොරා මාට්ටු – හිරුණි ලක්ෂිකා

විහාරස්ථානයක විහාර ගෙය බිඳ කරඬුවේ තිබූ මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලග්ගල, තෝරපිටිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදී සොරකම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉකුත් 21 වැනිදා මෙම සොරකම සිදුව තිබෙන අතර, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව සැකකාර පුද්ගලයා ඊයේ (26) බකමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසුවේ.
සැකකරු වයස අවුරුදු 38ක් වන තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සැකකරු කළ පාපොච්ඡාරණය මත සොරාගන්නා ලද නිල් පැහැති මැණික් ගල් 04ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා කිලෝග්‍රෑම් 4.65 ක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.