ඉඟුරු වලට මොකද වෙන්න යන්නේ – මොහොමඩ් ආසික්

දේශීයව මෙන්ම විදේශීයවද ආහාර රස කර ගැනීම සඳහාත් රස කැවිලි මෙන්ම සිසිල් බීම , දේශිය ඖෂධ කර්මාන්තය සඳහාද බහුල වශයෙන් භාවිතා කරන ඉඟුරු සඳහා මේ වන විට වැඩි මිළක් ලැබෙමින් තිබුණද මෙවර වගා කර ඇති ප්‍රමාණය අනුව මෙම කන්නයේ විශාල අස්වැන්නක් ලැබීම නිසා ඉදිරියේදී ඉඟුරු මිළ අඩු වී ගොවීන්ට දැඩි පීඩාවක් ඇති විය හැකි බව මෙම කෙෂ්ත්‍රයේ නිරතව සිටින පිරිස් සඳහන් කරති.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වගා කරනු ලබන විශේෂිත වූ කුළුබඩුවක් ලෙස ඉඟුරු සඳහන් වන අතර ඉඟුරු දේශීයව සහ විදේශිය වෙළඳපොළ සඳහාද යොමු කරනු ලැබේ. මේ වන විට ඉඟුරු මිළ සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බැවින් ගොවීන් විශාල වශයෙන් ඉඟුරු වගා කිරීමටත් මේ වන විට පෙළඹී සිටිති.
ඉඟුරු වගා කළ ගොවීන්ගේ හෙට දවස කෙබඳුද මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.
ඇපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී හෙක්ටයාර් 2110 ක ඉඟුරු වගා කර ඇති අතර අස්වැන්න මෙට්‍රික් ටොන් 58.08 ක් අපනයනය කර තිබේ. එමගින් ලබා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 236.76 කි.
මෙම තතවය තුල ගොවීන් සඳහන් කරන ආකාරයට මෙම කන්නයේ ඉඟුරු වැඩි වශයෙන් වගා කර ඇති අතර එය ගිය කන්නයට වඩා තුන් ගුණයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් බවත් ඔවුහු සඳහන් කරති.
ඉඟුරු වැඩි වශයෙන් කුරුණෑගල,මහනුවර, ගම්පහ, නුවරඑළිය, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ඉඟුරු වැඩි වශයෙන් වගා කරනු ලබයි. එසේ වුවත් මෙම කන්නයේ වෙනත් දිස්ත්‍රික්කවලට ඉඟුරු වගා කර ඇති බව එහි නිරතවූවන් අප සමඟ කීය.
මහා පරිමාණ බීජ ඉඟුරු නිෂ්පාදයෙකු වන කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි ගාමිණි පත්තම්පෙරුම මහතා මෙසේ කීය.
“ මම වසර ගණනාවක් තිස්සේ ඉඟුරු වගා කරනවා.මම ඉඟුරු වගා කරලා වෙළඳ පොළට වැඩි වශයෙන් නිකුත් කරන්නේ බීජ වශයෙන්. මගේ අස්වනුවලින් සියයට 80 ක්ම බීජ සඳහා ගොවීන්ට ලබා දෙනවා.මේ වන විට මාත් සමඟ සම්බන්ධ ඉඟුරු ගොවි මහතුන් විශාල ප්‍රමාණයක් රට පුරා ඉන්නවා.ඔවුන් මගෙන් උපදෙස් ලබා ගන්නවා.මම නම් මේ වගාව කර ගෙන යන්නේ කාබනික සහ රසායන යන පොහොර වර්ග දෙකම භාවිතා කරලයි.බීජ සඳහා ඉඟුරු ලබා දීමේදී සාමාන්‍ය ගණනට වඩා වැඩි මිළක් ලැබෙනවා.ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ එකට තුනකටත් වැඩියෙන් ඉඟුරු ගොවීන් වගා කරල තියෙනවා. අලුතින් වගා කරන වගා කරුවන් තමන්ගේ නිෂ්පාදනය වෙළඳ පොළට ගෙන එන කොට මිළ සීග්‍ර ලෙස පහත බැස තියෙන්න පුළුවන්.ඒ නිසා මම රජයෙන් ඉල්ලන්න කැමැතියි මේ ගොවීන්ගේ අස්වනු වෙළඳ පොළට එද්දී මිළ අඩු වෙන්නේ නැතිව පාලනයක් ඇති කර දෙන ලෙස යැයිද කීය.
මෙහිදී අප සමඟ අදහස් දැක්වූ කෘෂි විශේඥයෙක් වූ ජගත් රත්නායක මහතා මෙසේ කීය.
“ පසුගිය කාලය සමඟ සැසඳීමේදී ගොවීන් විශාල වශයෙන් ඉඟුරු වගාවට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ ඉඟුරු වගාවේ තියෙන ලාභ පරතරය. අක්කරයක ඉඟුරු වගාවක් කරන්න ලක්ෂ 10 ක විතර වියදමක් යනවා. හැබැයි. ඒකෙන් රුපියල් ලක්ෂ 70 ක විතර ආදායමක් ගන්න පුළුවන්. පර්චස් එකක් වගා කළොත් ලක්ෂයක විතර ආදායමක් ගන්න පුළුවන්. මේ කන්නයේදී පසුගිය කන්නයට වඩා විශාල ඉඩම් ප්‍රමාණයක මෙවර ඉඟුරු වගා කරල තියෙනවා.පසුගිය කාලයේ ඉඟුරු කිලෝව රුපියල් 4000 ක් දක්වා ගියා. නමුත් ඉඟුරු කිලෝව රුපියල් 700 ට වික්කත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. මේ කන්නයේ විශාල ඉඩම් ප්‍රමාණයක ඉඟුරු වගා කරල තියෙන නිසා අනිවාර්යෙන්ම වැඩි අස්වැන්නක් ලැබෙනවා. අස්වැන්න වැඩි විම නිසා සමහර විට මිළ පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉඟුරු වගාව මේ කන්නයෙන් පසුව කඩා වැටෙන්නත් පුළුවන්කම තියෙනවා.මිළ පහත වැටුනොත් ගොවීන් අධෛර්යමත් වෙනවා යැයිද කීය.
ව්‍යාපාරික මට්ටමින් ඉඟුරු වගා කරන ව්‍යාපාරිකයෙකු වන සුනිල් දේවසුරේන්ද්‍ර මහතා දැක්වූ අදහස් මේ.
“ මම මෑතක ආරම්භ කළා ආර්ථික වටිනාකමක් ඇති ඉඟුරු වගාව. අපි එක කන්නයක දී විශාල මුදලක් ලබා ගත්තා. නැවතත් අපි මේ වගාව ආරම්භ කරල තියෙනවා. හොඳ ආර්ථික වටිනාකමක් ඇති බෝගයක් තමයි මේ ඉඟුරු කියන්නේ. මම සෑම තරුණයෙකුගෙන්ම ඉල්ලනවා. තමන් සතුව තියෙන ඉඩම්වල මේ ඉඟුරු වගා කරල විශාල ආදායමක් ලබා ගන්න කියලා යැයිද කීය.
විශ්‍රාම යාමෙන් පසුව ඉඟුරු වගාවට වැඩි බරක් දී සිටින කුලතුංග බණ්ඩාර මහතා මෙසේ කීය.
“ මම ඉඟුරු වගාවට අවතීර්ණ වුනේ විශ්‍රාම යාමෙන් පසුව. මට මේ වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නෑ. නමුත් මම මට පුළුවන් ආකාරයට වගාව ගොඩ නඟා ගත්තා. අපට රජය මැතිහත් වෙලා වෙළඳ පොළ දේශිය වශයෙන් හා විදේශිය වශයෙන් සකස් කරල දෙනවනම් විශාල පිරිසක් ඉඟුරු වගාවට යොමු වෙලා රටට ආර්ථික වශයෙන් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වේවි යැයිද කීය.
පෞද්ගික ආයතනයක විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරතුංග මහත්මිය දැක්වූ අදහස් මේ.
අපේ ආයතනයෙන් කරන්නේ ඉඟුරු අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස දේශීය වශයෙන් සහ විදේශිය වශයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කිරිමයි.රස කැවිලි කර්මානත්වලට ඖෂධ කර්මාන්තයටක් අමුද්‍රව්‍යක් ලෙසත් අපි මේ ඉඟුරු නිෂ්පාදන ලබා දෙනවා.මේ කර්මාන්තය කර ගෙන යාමේදී අමුද්‍රව්‍ය වන ඉඟුරුවල මිළ නිතරම උච්චාවචනය වීම නිසා අපට දැඩි ගැටළුවක් මතු වෙනවා. මොකද අපි මේ කර්මාන්තය කරන්නේ ගිවිසුම් ගතවයි. වරින් වර මිළ ඉහළ ගියොත් අපට ගැටළු මතු වෙනවා. යැයිද කීවාය.
මෙම ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ආර්.කේ.ඩබ්ලිව් රන්කෙත්කුඹුර මහතා මෙසේ කීය.
ඉඟුරු අස්වැන්න වෙළඳපොළේ හිඟවන විට එහි මිළ ඉහළයාම මෙන්ම බීජ ඉඟුරුවල මිළද සීඝ්‍රයෙන් ඉහළයාම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් ඉඟුරු අස්වැන්න වැඩිවන කාලවලදී එහි මිල අඩුවන බැවින් වගාකරුවන් එම කාලවලදී ඉඟුරු වගාවට යොමුවීම සිඝ්‍රයෙන් අඩු වන බව ගොවීන්ද දන්නා දෙයක්. රට තුල වාර්ෂිකව ඉඟුරු හෙක්ටයාර් 2200 ක පමණ වූ ඉඟුරු වගා වපසරියක් පවත්වා ගෙන යන්නේ නම් ගොවියන්ට, පාරිභෝගිකයන්ට සහ කර්මාන්තකරුවන්ට සාධාරණ මිළක් යටතේ තම කර්මාන්ත පවත්වා ගෙන යාමට හැකිවෙනවා. ඉඟුරු වගාව දිරි ගැන්වීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පසු අස්වනු තාක්ෂණ වැඩසටහන් හා අගය එකතු කළ නිෂ්පාදන සඳහා ආයෝජන ආධාර වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවද අධ්‍යක්ෂවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය ලබන වගා කන්නය වන විට පහව යනු ඇති බවද ඒ මහතා තව දුරටත් කීය.