ලාංකීය දේශපාලනයේ ආදිවාසි සලකුණ – ඡන්දයක් කියන්නේ කාල මෙච්චකට මංගජ්ජන එකමක් ජාතියක සම්ප්‍රදාය කියන්නේ සදාකල් තිබෙන එකමක් -ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියැලැත්තන් – මොහොමඩ් ආසික්

“රටක මොනම ජාතියක් හරි තිබෙනව නම් ඒ ජාතියට උරුම තැන මන්දු වෙච්ච සම්ප්‍රදායක් තියෙනවා. ඡන්දය කියන්නේ කාල මෙච්චකට මංගජ්ජන එකමක් විතරයි. එහෙම නෙවෙයි සම්ප්‍රදාය කියන්නේ සදාකල් තිබෙන එකමක්.”
“ඡන්දය කියන්නේ කාලයකට වරක් එන එකක්. නමුත් ජාතියක සංස්කෘතිය කියන්නේ සදාකාලිකව පවතින එකක්. ඒ නිසා ඡන්දයක් වෙනුවෙන් ජාතියක සංස්කෘතියට හානි කරන්න දෙන්න බෑ. හැම දේම කරන්න ඕන තම තමන්ගේ ජාතියේ සංස්කෘතිය ආරක්ෂා කර ගෙනයි” ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන් ආදිවාසින්ගේ දේශපාලනික අයිතිවාසිකම් සම්බන්ධයෙන් දරණ අදහසයි ඒ.
තම තමන්ගේ ගම සංවර්ධනය කර ගන්න ගමට දේශපාලන නායකත්වය තීරණය කරගන්නා පළාත් පාලන මැතිවරණය අවසන්ව ටික දිනක් ගතව ගිය ද ආදිවාසි ජනතාවට දේශපාලනයේ හිමි වන අයිතිවාසිකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ඒ සඳහා දඹාන කොටබකිනිය ගම්මානයේ දී ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියැලත්තන් හමු අවස්ථාවේදී ඔහු සිය හඩ අවදි කළේ එසේයි.
අපේ රටේ තම සංස්කෘතික දේශපාලනික අයිතිවාසිකම් සහ අනන්‍යතාවය රැක ගැනීම සඳහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියැලැත්තන් තරම් සටන් කරන තවත් ජනතා නායකයෙකු නැති තරම්. පසුගිය මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යාමේදී ඔවුන්ගේ සංස්කෘතික අංගයක් වන කෙටේරිය ඡන්ද පොළට රැගෙන යාමට නිලධාරින් අවසර ලබා නොදීම නිසා ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ට සිදුව තිබිණ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර එය විසඳා ගැනීමට ඔවුනට සිදුව තිබිණ. එම නිසාම මෙවර මැතිවරණයේදී එම ගැටළුව ඔවුන්ට බල පෑවේ නැත.
තම දේශපාලනික මෙන්ම සංස්කෘතික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙරට ආදිවාසින් තුල පවතින්නේ දැඩි කනස්සල්ලක් සහිත හැඟීමකි.
ලෝකයේ රටවල් 72 ක විවිධ නම්වලින් හඳුන්වන ආදිවාසී ජනතාව මිලියන 300 ත් 350 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෑතක නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.එවගේම ඇම්නෙස්ටි ඉන්ටන්නැෂනල් ආයතනය නිකුත් කර ඇති තවත් වාර්තාවක සඳහන් වන්නේ ලොව පුරා රටවල් 90 ක වර්ග 5000 කට පමණ අයත් භාෂා 4000 ක් පමණ කතා කරන ආදිවාසින් මිලියන 476 ක් පමණ ජීවත් වන බවත් ඔවුන් මුළු ජනගහණයෙන් සියයට 6.2 ක් පමණ වන බවත්ය. එම වාර්තාව මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ ආදිවාසින් ලොව කුමන රටක මොන නමින් සිටියත් ඔවුන් සියළු දෙනා දැඩි ආන්තීකරණයට ලක්වූ පිරිසක් බවට සාධක පවතින බවයි.
ශ්‍රී ලංකාවේ ආදීවාසින් ගත්විට ඔවුන්ගේ ඉතිහාසයද වසර දහස් ගණනක් අතීතයට දිව යන බව ඔවුහූ කියති. ශ්‍රී ලංකාවේ ආදිම වැසියන් ඔවුන් බවත් ඒ නිසාම ඔවුන් ආදිවාසින් වූ බවත් ඔවුහු කියති.
ශ්‍රී ලංකාව් ආදිවාසින්ගේ ආරම්භය සම්බන්ධයෙන් විවිධ මත පවති. එක් ප්‍රධාන මතයකට අනුව විජය රජුගේ සහ කුවේණියගේ දරුවන් දෙදෙනාගේ පරපුරෙන් මේ ආදිවාසින් පැවත එන බව සඳහන් වෙයි. තවත් මතයකට අනුව ඊටත් බොහෝ කලකට පෙර බලංගොඩ මානවයාගේ කාලයේ පටන්ම ආදිවාසින් පැවත එන බවටද මතයක් පවතී. කෙසේ වුවත් ආදිවාසින් යනු මෙරට ආදිම වාසින්ගෙන් කොටසක් බව පිළිගත හැකියි.
ශ්‍රී ලංකාවේ ආදීවාසින්ගේ මුලස්ථානය මේ වන විට දඹාන කොටබකිනිය මූලික කර ගෙන පවතින අතර දිවයින පුරා ගම්මාන රැසක් ඔවුන්ගේ පරම්පාරවේ පිරිස් පදිංචිව සිටිති.
වනය, වන සතුන් සහ වන සම්පත් මූලික කර ගෙන සිය ජීවිතය ගොඩ නඟා ගෙන පරිසර සමතුලිතතාවය රැක ගෙන සිය ජීවිකාව ගෙන යන ආදිවාසින්ගේ දේශපාලන සහභාගිත්වය සම්බන්ධයෙන් රැහේ නායක ඌරුවරිගේ වන්නියැලැත්තන් සිය හඩ අප සමඟ තව දුරටත් අවදි කළේය.
“පළාත් පාලන ඡන්දයට මේ ගම්වලිනුත් අපේක්ෂකයින් ඉදිරිපත් වෙලා තියෙනවා. කිහිප දෙනෙක් පත් වෙලත් ඉන්නවා. රටේ අනෙක් ප්‍රදේශ ගැන හරි තොරතුරක් තවමත් ලැබිල නෑ. මගේ අදහස නම් අපේ පරම්පරාවෙන් නොව කවුරු පත් වුනත් තමන්ට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕන. මුළු රටම ගත්තහම ජනතාව මේ රජය කෙරෙහි විශ්වාසයක් තියල ඡන්දය ලකුණු කරල තියෙනවා. එහෙම ඡන්දය දෙන්නේ ලොකු බලාපොරොත්තුවක් තියා ගෙනනේ. ඉදිරියේදී ඒ විශ්වාසය ආරක්ෂා කර ගෙන සියළු දෙනා වැඩ කරන්න ඕන.
ශ්‍රී ලංකාව තුල ජීවත් වන ආදිවාසි ජනගහණය සම්බන්ධයෙන් නිවරැදි සංඛ්‍යා ලේඛණ සම්බන්ධයෙන් තොරතුරු කිසිදු ආයතනයක නොමැති බවද වන්නියැලැත්තන් කියති.
“ මම රජයේ උසස් නිලධාරින්ට යෝජනා කරල තියෙනවා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව ආදිවාසින්ගේ ජනගහනය සම්බන්ධයෙන් නිවරැදි සංගණනයක් කරන්න කියලා. අපේ පරම්පරාවේ ජනතාව ජීවත් වන දිස්ත්‍රික්ක හයක් තියෙනවා බදුල්ල , මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව. මේ දිස්ත්‍රික්ක හයේ ලක්ෂ පහක පමණ ජනතාවක් ජීවත් වෙනවා. නමුත් නිවරැදි සංඛ්‍යා ලේඛණයක් නැහැ. මේ සියළු දෙනා අපේ පාරම්පරික සිරිත් විරිත් වලට අනුවම ජීවත් වනවා කියන්න බෑ. ඒ ඒ පිරිස් ජීවත් වන ප්‍රදේශ අනුව භාෂාව සිරිත් විරිත් වෙනස් වෙලා තියෙනවා. අපේ පරම්පරාවට හිමි කම් කියන ලක්ෂ පහක් විතර ඉන්නවා කියන එක නම් ස්ථීරයි. අපේ ජනගහණය ගැන ස්ථීර ගණන දැන ගන්නේ නැතිව අපේ දේශපාලනික මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබා ගැනීම අමාරුයි.”
ඈත අතීතයේ දඹාන ආශ්‍රිතව ජීවත් වූ ආදීවාසින්ගෙන් කොටසක් කුමන හෝ හේතුවක් නිසා බෙදී මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කර නැගෙරහිර පළාතේ පදිංචිව සිටිති.
මෙලෙස පැමිණ වෙරළාශ්‍රිත ප්‍රදේශවල පදිංචි වූ පිරිසෙන් නැගෙනහිර පළාතේ ආදිවාසින් ව්‍යාප්ත වූ බව නැගෙනහිර පළාතේ විවිධ දුක් කම්කටොලු මත ජීවත් වන ආදිවාසී ජනතාව ප්‍රකාශ කරති. විශේෂයෙන් නැගෙනහිර පළාතේ දෙමළ භාෂාව කතා කරන වර්තමානයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගම්මාන 24 කත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගම්මාන 24 කත් මෙම ආදිවාසි ජනතාව පදිංචිව සිටිති.
මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වාකරේ මාන්කේනි හන්දියේ සිට කැලෑව මැදින් වැටී ඇති මාර්ගයේ කිලෝ මීටර් 10 ක් පමණ දුරක් ගිය විට හමු වන කුඤ්ඤංගල්කුලම් ගම්මානය නැගෙනහිර ආදිවාසි නායකයා වන අම්බලවරිගේ නල්ලතම්බි වේලායුදම් ජිවත් වන ගම්මානයයි. මැතිවරණයේදී ඔවුන්ගේ සහභාගිත්වය ඔවුන්ට හිමි සහ අහිමි අවස්ථාවන් ගැන සොයා බලන්නට මුලින්ම ඔවුන්ගේ නායකයා සොයා කුංඤ්ඤංගල්කුලම් ගම්මානයට දැඩි වෙහෙසක් දරා වාකරේ කැලෑ මැදින් කිලෝ මිටර් 10 ක් පමණ දුරක් ගෙවා ගියෙමි.
සිය නිවසේදි හමු වූ නැගෙනහිර ආදිවාසින්ගේ නායකයා වන අම්බලවරිගේ නල්ලතම්බි වේලායුදම් මුලින්ම සඳහන් කළේ, රජයේ ඇතැම් නිලධාරින් මෙන්ම දේශපාලඥයින්ද තම පරම්පරාවට විවිධ අරියාදු කරන බවයි.
“ මෙවර පැවැත්වුණ පළාත් පාලන ඡන්දයේදී අපේ පරම්පරාව නියෝජනය කරමින් කිසිවෙකුත් ඉදිරිපත් වුනේ නෑ. හේතුව එහෙම ඉදිරිපත් වෙලා දිනල පත් වුණොත් පත් වුන නියෝජිතයාට ගමට වැඩ කරන්න අවශ්‍ය පහසුකම් සහ අවස්ථාව දෙන්න ඕන. අපේ සමාජය නියෝජනය කරමින් පමණක් නොව කවුරු පත් වුනත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඕන. ගිය කාලවලත් මන්ත්‍රීවරුන් පත් වෙලා තියෙනවා. නමුත් අපේ ගම්වල පාරවල්වල යන්න බෑ. හදිසි ලෙඩෙක්වත් ගෙන යන්න බැරි තත්වයකයි තියෙන්නේ. හදිසි ගිලන් රථයකට කතා කළත් ඔවුන් කියන්නේ හොඳ පාරට ගේන්න කියලයි. අපේ ඉඩම් ප්‍රශ්න විසඳිලා නෑ. නිවාස ගැටළු විසඳිලා නෑ.මේවා ගැන බලන කොට අපට රජයෙන් ලැබෙන සහනයන් ඉතා අඩු මට්ටමකයි තියෙන්නේ. මින් පෙර මැතිවරණයකදී අපේ නියෝජිතයෙක් අපි දිනෙව්වා. නමුත් ඔහුට ඒ අවස්ථාව දුන්නේ නෑ . ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහුට අපි ලබා දුන් ඡන්ද ටික අර ගෙන වෙනත් ප්‍රදේශයක පුද්ගලයෙක් පත් කළා. මෙවර මැතිවරණයේදීත් ඒ වගේ තත්වයක් ඇති වෙයි කියන සැකය නිසා මේ සැරේ අපෙන් කවුරුවත් තරඟ කළේ නෑ. අපි දූෂණයට විරුද්ධ ජනාධිපතිවරයෙක් වගේම ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා. ඒ වගේම ගමට පත් වන මන්ත්‍රීවරුත් දූෂණ වංචාවලින් තොර පුද්ගලයින් වෙන්න ඕන.එහෙම පුද්ගලයින්ට විතරයි අපේ පරම්පරාවත් නියෝජනය කරන්න පුළුවන් වෙන්නේ”
නැගෙනහිර පළාතේ කිරිමිච්චෙයි ගමේදී හමුවූ පේච්චමුත්තු කිරුනාලිංගම් කියන්නේ මෙවන් අදහසක්.
“අපේ ගම්වලට කිසිම පහසුකමක් නෑ .ජල ගැටළුව විසඳිලා නෑ.නිවාස ගැටළුව විසඳිලා නෑ. රස්සාවලට ආරක්ෂාවක් නෑ. හදිසියට ලෙඩෙක් අරන් යන්න බෑ. ඡන්දයෙන් බලයට පත් වුන කවුරු වුනත් අපේ අවශ්‍යතාවයන් ගැනත් බලන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ.”
ආදිවාසි ජනතාව මුහුණ දෙන දේශපාලනික සහ සංස්කෘතිකම ගැටළු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් 2023 ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවේදී එවක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහතුන් වෙත භාර දී තිබේ. එම ඉල්ලීම්වල ප්‍රධාන ඉල්ලීම් ලෙස සඳහන්ව ඇත්තේ මෙරට ආදිවාසි ජනතාව වෙනුවෙන් සුදුසු පනතක් සකස් කිරීම, ආදිවාසින් පිළිබඳ නිවරැදි සංගණනයක් සිදු කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයකි. මෙහි ප්‍රධාන ඉල්ලීම් දෙකම ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් මඟ හැරී ඇති ඉල්ලීම් වෙයි.
ආන්තික ජන කණ්ඩායම් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක්ම සිදු කර ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මොරගස්වැවේ විජිත හිමියන් දැක්වූ අදහස් මේ.
“ ගෝලීය වශයෙන් දැවෙන ප්‍රශ්නයක් ව පවතින සුළුතරයෙත් සුළුතරය වූ (Minority of the Minority) ජන කණ්ඩායම් අපේ රටෙත් විවිධ ප්‍රදේශවල ජීවත් වනවා. දෙමළ මුස්ලිම් බර්ගර් යන ජන කොටස් සුළු ජන කොටස් ලෙස සැලකුවත් ඊටත් වඩා සුළු ජන කොටස් ලෙස මෙරට ජීවත් වන ආදිවාසින්, තෙළිඟු ජනතාව,මැලේ කාපිරි වගේ ජන කොටස් සඳහන් කරන්න පුළුවන්. රාජ්‍ය පාලනයේදී මෙම ජන කොටස් සම්බන්ධයෙන් ඇත්තේ අල්පමාත්‍ර අවධානයක් බව පේනවා.ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ශක්තිමත් හඩක් නැඟීම සඳහා ඇති හොඳම තැන පාර්ලිමේන්තුවයි.පාර්ලිමේන්තු සංයුතිය තුලට ඔවුන්ගේ නියෝජනයන්ද ක්‍රමාණුකූලව ඇතුලත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ ස්වදේශීය ජන කොටසක් ලෙස සැලකෙන ආදිවාසී ජනතාව සමාජ ආර්ථික දේශපාලනික අභියෝගයන් රැසකට මුහුණ දී සිටින බව පේනවා.ඒ නිසා එවැනි තත්වයන් තුල ආදිවාසි ජනතාවගේ ගැටළු විසඳා ගැනීම සඳහාත් ඔවුන්ගේ හඩ ඉහළට ගෙන යාම සඳහාත් ඔවුන්ගේ නියෝජනයකුත් ප්‍රතිපත්ති සකස් කරන තැන්වලට ඉතා අවශ්‍යයයි”
විවිධ සමාජ අංශයන් සම්බන්ධයෙන් පර්යේෂණන් සිදු කරන ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මේ සම්බන්ධයෙන් දරන්නේ මෙවන් අදහසක්.
“ සුළු ජන කණ්ඩායම්වල දේශපාලන නියෝජනය සඳහා ඇති හොඳම ආයතනය තමයි පළාත් පාලන ආයතනය.මෙම ආයතනවල ආන්තික කණ්ඩායම්වල නියෝජනය ඉතා වැදගත්. නවසීලන්තයේ ආදිවාසින් වන මඕරිවරුන් වෙනුවෙන් වෙනම ඡන්ද ලේඛණයක් පවා තියෙනවා. නමුත් එහේ ඉන්න තරුණ මඕරිවරුන් ඒකට කැමැති නෑ. ඔවුන් යන්න බලන්නෙත් සාමාන්‍ය ඡන්ද ලේඛණයෙන්. ලංකාවේ ගත්තහමත් ආදිවාසින් ඇතුළු සුළු ජන කොටස්වල නියෝජනය සඳහා පළාත් පාලන ආයතන වැදගත්. ඒ වගේම ඔය ආයතනවල දෙවන මන්ත්‍රණ සභාවක වැදගත්කමත් තියෙනවා. එහෙම වුනොත් එමගින් සුළුතර ජන කණ්ඩායම් වෙනුවෙන් නියෝජිතයින් පත් කිරීමේ හැකියාව තියෙනවා. මේ සුළු ජන කොටස් වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් කියන එක ඉතා අමාරු කාරණාවක්. හොඳම දෙය තමයි ඒ ඒ කොට්ඨාසවල සියයට 10 ක් තරම් ඡන්ද ප්‍රමාණයක් තිබුණොත් ඒක උපයෝගි කර ගෙන යම් නියෝජනයක් ලබා ගන්න එක . එමගින් ප්‍රතිපත්ති සකස් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වන විට එවැනි අවස්ථා අඩුයි. මේ ජන කොටස් තුල දේශපාලන දැනුම ඇති ප්‍රබල සංවිධානයක් අවශ්‍යයයි. ඔවුන්ගේ සංස්කෘතිකාංගයන් ප්‍රදර්ශණය කිරීම මගින් අලුත් දෙයක් කිරීමේ හැකියාවත් තියෙනවා. ලංකාවේ වර්තමානයේ ප්‍රධාන සුළු ජන කොටස්වලට පවා ව්‍යවස්ථාදායකයේ නියෝජනයන් ලබා ගැනීමේ දී ගැටළු පවතිනවා. මෙම තත්වය තුල ආදිවාසින් ඇතුළු පිරිස්වල නියෝජනයන් ජාතික මට්ටමින් ලබා ගැනීමේදී බාධක රැසක් මතු වෙන්න පුළුවන්. නමුත් මෙය ක්‍රියාත්මක කිරිමට නම් වෙනමම ක්‍රමවේදයක් සකස් කරන්න වෙයි”
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම සුළුතර ජන කොටස්වල දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් දැක්වූමේ මෙවන් අදහසක්
“ පළාත් පාලන මැතිවරණයේ නීතිමය වශයෙන් නියෝජනයක් තියෙන්නේ සියයට 25 ක කාන්තා නියෝජනය පමණයි. මේ රටේ සුළු ජන කොටසක් ලෙස ගැනෙන ආදිවාසින්ට කියල වෙනම නියෝජනයක නීතිමය හැකියාවක් නෑ. නමුත් එම ජන කොටස් වැඩි ප්‍රමාණයක් ජීවත් වන පළාත් පාලන ආයතනවලට ස්වාධීනව ඉදිරිපත් වෙලා යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන සභික ධුරයක් හෝ දෙකක් ලබා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වෙලා සභික ධුර ලබා ගන්නත් පුළුවන්. ඔවුන්ගේ ජනගහණය සම්බන්ධයෙන් පැහැදිලි දත්ත ලබා ගැනීමත් වැදගත් වෙනවා. පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසයකින් පත් වන සභිකයෙකු වෙනුවෙන් වෙනත් කෙනෙකු පත් කරන්න බෑ.
පසුගිය මැතිවරණයකදී දඹාන ඡන්ද මධ්‍යස්ථානයේ ආදිවාසින්ට සිදු වූ අපහසුතාවය සිදුවිය යුතු දෙයක් නොවේ. එය එදා එහි රාජකාරියේ යෙදී සිටි නිලධාරින්ගේ අඩුපාඩුවක් නිසා සිදු වූ දෙයක්. මින් ඉදිරියට එවැනි අඩුපාඩු සිද්ධ වෙන්නේ නෑ.”
‘මිනිසා උපතින්ම දේශපාලනික සත්වයෙකි‘ යන ඇරිස්ටෝටල්ගේ නිර්වචනයට අනුව ලෝකයේ සියලුම පුද්ගලයින් දේශපාලනය හා බැඳී සිටිති. එයට ප්‍රායෝගිකව සම්බන්ධ වීමේ වරම ආදිවාසින් ඇතුළු සියළු ජනතාවට ලැබිය යුතු බව මෙහිදී පසක් වන සත්‍යයි.