වෙසක් පෝ නිමිත්තෙන් මල්වතු මහ විහාර පාර්ශවයේ සුභාශිංසන පණිවුඩය – නදීක දයා බණ්ඩාර

 

සංසාරික විමුක්තිය සාක්ශාත් කර ගැනීම සඳහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුගමනය කිරීම ශ්‍රාවකයන් වශයෙන් මෙම වෙසක් පොහොයේදී අප අධිෂ්ඨාන කර ගත යුතු යැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දී එම ගමන් මාර්ගයේ අනුගමනය කිරීමට  අප සියලු දෙනා  අධිෂ්ඨාන කර ගත යුතු යැයි ද මහානායක හිමිපාණන් වහන්සේ සඳහන් කරයි.

වෙසක් පුර පසළොස්වක බොහෝ දිනය නිමිතින් මල්වතු මහා විහාරිය සුභාශිංසන පණිවිඩය නිකුත් කරමින් මහා නායක හිමිපාණන් වහන්සේ  මේ බව සඳහන් කළහ.

උන්වහන්සේ නිකුත් කළ සුභාශිංසන පණිවුඩයේ තවදුරටත් මෙසේ සඳහන්ය.

 

ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ධර්මාර්ථචර්යාවෙහි යෙදෙන උතුම් වෙසක් පුන් පෝය දිනය ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම පුණ්‍යෝත්සව දිනයයි. මහා ප්‍රඥාවෙත් මහා කරුණාවෙත් ප්‍රතිමූර්තිය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බෞද්ධ ගුණයන් සිහිපත් කරමින් කුසල් සිත පිහිටුවමින් සංසාරික විමුක්තිය  උදෙසා වීරියවන්ත වීමට මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ දී සැදැහැති බෞද්ධ මහජනතාව අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.

 

හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සංසාරික දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාව නොයෙක් ව්‍යවසනයන්ගෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩාවට පත්ව සිටින අධ්‍යතන සමාජයට එයින් අත්මිදීම උදෙසා ඥානමය ආලෝකය ලබා දීමේ ඒකායන මාර්ගයයි. එයින් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ධර්මයන්හි පිහිටා කුසලාංගයන්ගෙන් ස්වකීය ජීවන යාත්‍රාව පෝෂණය කර ගැනීමට උත්සාහ කිරීම බුද්ධ ශ්‍රාවකයන් ලෙස තථාගතයාණන් වහන්සේ විෂයෙහි දැක්විය හැකි ඉහළම ගෞරවයි.

 

තථාගතයාණන් වහන්සේ විසින් සල්ලේඛ සූත්‍ර දේශනාවෙහි අනුදැන වදාළ ආකාරයටම ශ්‍රාවකයන් කෙරෙහි යහපත කැමති ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළ යුතුද ඒ සියල්ල තථාගතයාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් විෂයෙහි සිදුකර ඇත. එහෙයින් එකී ධර්ම මාර්ගය තුළ ශික්‍ෂණය වෙමින් සංසාරික විමුක්තිය උදෙසා ව්‍යාවෘත වීමට ශ්‍රාවකයන් වශයෙන් ය අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම බෞද්ධ පිළිවෙත බව මෙම උතුම් වෙසක් පුන් පොහොය දිනයේ සියලු ලක්වාසීන් වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.

 

උතුම් සම්බුද්ධෝපදේශනයන් මත පිහිටා සිය ජීවිත කුසලාංගයන්ගෙන් පෝෂණය කර ගැනීමට වීරියවන්තව කටයුතු කිරීමට සැමට ශක්තිය ධෛර්ය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතරම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාලෝකය ප්‍රභාවිත සිරී සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිර්වාද කරන බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සිය වෙසක් දින සුභාශිංසන පණිවුඩයේ තව දුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *