සිරි දළදා වන්දනා ප්‍රගති සමාලෝචනය සෑම දිනකම පෙරවරුවේ මහනුවරදී – නදීක දයා බණ්ඩාර

සිරි දළදා වන්දනා දළදා දැක්මේ ප්‍රගති සමාලෝචනයක් සෑම දිනකම පෙරවරුවේ මහනුවරදී සිදු කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඒ අනුව දළදා දැක්මට පළමුව අවසන් සාකච්ඡාව මහනුවර උල්පැන්ගේහිදී පැවැත්වූ බවත් ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ ආරම්භවීමට නියමිත දළදා දැක්මේ සියලු සංවිධාන කටයුතු මේ වන විට අවසන් වී ඇතැයි ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව,  ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිද හමුදාව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන ගණනාවක දායකත්වය යටතේ මෙම වැඩසටහන සංවිධාන වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සංවිධාන කොට ඇතැයි කී ඒ මහතා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් එම පද්ධති ස්ථාපිත කොට ඇති බව ද කීවේය. සැදැහැවතුන් වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන හතක්, දුරකථන ආරෝපණය කිරීමේ ස්ථාන කිහිපයක් සකස් කොට ඇතැයි ද හෙතෙම පැවසුවේය.

සැදැහැවතුන්ගේ අවශ්‍යාත පරිදි ඔවුන්ට විවේක ගැනීම සඳහා මහනුවර කැප්පැටිපොල විදුහල හා විවේකානන්ද විදුහල වෙන් කොට ඇති බව කී ඒ මහතා ශ්‍රී ලංකා නාවුක හමුදාව හා ගුවන් හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය මත එම විවේක ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව ද පැවසුවේය.

දළදා වන්දානාවට පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් මළු ශ්‍රී දළදා මන්දිරයට ගෙන යාමට අවස්ථාව හිමි නොවන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය එක්ව ස්ථාපිත කොට ඇති මධ්‍යස්ථාන වෙත එම භාණ්ඩ ලබාදිය හැකි යැයි කී ඒ මහතා වටිනාකම් සහිත කිසිදු භාණ්ඩයක් රැගෙන ඒමෙන් වළකින ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

ලෝක පූජිත මහනුවර නගරය පිරිසිදුව පවත්වා ගැනිම වඩා වැදගත් වන බැවින් වැව ඇතුලු නගරයට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා අනිකුත් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වන බව කී ඒ මහතා 081-3146800 සහ 081 3146900 යන දුරකථන අංක ඔස්සේ අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි යැයි ද තව දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *