අවුරුදු කාලේ දවස් 12කට ලංවිම ‘සෝලා’ ගලවයි: නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලති

අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 වන දා සිට දින 12ක්) සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුව අප්‍රේල් මස 10 වන දා සිට අප්‍රේල් මස 21 වන දා දක්වා කාලය තුළ කිලෝ වොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධති මගින් විදුලිය ලබා නොගන්නා අතර මේ වනවිටත් එම පද්ධති විසන්ධි කර තිබේ.

මේ තත්ත්වය මත එම සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, එයින් කර්මාන්තයට සිදුවන පාඩුව සලකා වන්දියක් ලබා දීමට පියවර ගන්නා ලෙස ය.

එම සංගමයේ ප්‍රකාශකයෙකුට අනුව මෙවැනි සූර්ය බල උත්පාදකයෙකුට හිමිවන ආදායමින් සියයට 35ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය ගෙන තිබෙන තීරණය හේතුවෙන් අහිමි වන බව ත් එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බව ත් සඳහන් කර ඇත.

ආයෝජකයන් සූර්ය පැනල විදුලි නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙලෙස වන්දියක් ලබා දෙන ලෙසට සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.

මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදුවන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

අද වන විට සූර්ය පැනල කට්ටල මගින් මෙගා වොට් 1500කට එහා ප්‍රමාණයක් ජාලගත කර ඇති බව ත් දැනට ජාලගත කර තිබෙන පරිමාවෙන් විසන්ධි කිරීමට ලක්වන්නේ 25%ක් යැයි අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බව ත් ඔහු පැවසීය.

දීර්ඝ නිවාඩුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ත් රජයේ නිවාඩුවක් යෙදෙන හැමවිට ම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් සූර්ය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය නොකරනු ඇති බව ත් ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *