ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින්  සිසුන්ට ඡායාරූපකරණ පුහුණුවක්.  –   මොහොමඩ් ආසික්

එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් අනුග්‍රහයෙන් එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ දෘෂ්‍ය කතන්දර සැකසීමේ පුහුණු වැඩසටහනක් පසුගියදා මහනුවර දී පැවැත්විණ. යුනිසෙෆ් සංවිධානය ක්‍රියාත්මක ලොව පුරා රටවල් 190 කට වැඩි ප්‍රමාණයක් මෙම ගිගා ඡායාරූප උත්සවය සඳහා සහභාගී වන අතර “සම්බන්ධතාවයේ ප්‍රීතිය” (The Joy of Connection) යන තේමාව මූලික කරගත් ඡායාරූප හෝ දෘෂ්‍ය කතන්දර මේ සදහා ඉදිරිපත් කල හැක.

මේ සඳහා මෙරට තරුණ ප්‍රජාව සක්‍රීයව සහභාගීකරවා ගැනීම අරමුණු කරගෙන දිවයින පුරා වයස අවුරුදු 13 ත් 18 ත් අතර දරු දැරියන්ගෙන් ඉල්ලුම්පත් කැඳවීමෙන් තෝරාගත් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සදහා මෙම දින  පහක පුහුණු වැඩසටහන පසුගිය  07 වනදා සිට 11 වනදා දක්වා  මහනුවර සත්යෝදය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙම පුහුණු වැඩසටහන අවසානයේදී සහභාගීවූ දරු දැරියන් විසින් ලබාගත් ඡායාරූප සහ දෘෂ්‍ය කතා ඇතුලත් ප්‍රදර්ශණයක්  අද  11 වන දින පෙරවරුවේ  මහනුවර සත්යෝදය අධ්‍යාපන සහ  පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

ගිගා (Giga) යනු යුනිසෙෆ් (UNICEF) සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) අතර හවුල්කාරිත්වයක් වන අතර එය ලොව සෑම පාසලක්ම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට කටයුතු කිරීම තුලින් සෑම තරුණයෙකුටම තොරතුරු, අවස්ථාව සහ තේරීම් සදහා අවස්ථාව ලබාදීමටත් ක්‍රියාකරයි.

එය  2019 දී  ස්ථාපිත කළ දා සිට, Giga සහ එහි හවුල්කරුවන් පාසල් මිලියන 2.1 කට වඩා සිතියම්ගත කර ඇති අතර පාසල් 24,000 කට වැඩි ප්‍රමාණයකට අන්තර්ජාල සම්බන්ධතාවය සඳහා ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කර ඇත. මේ හරහා ආසන්න වශයෙන් සිසුන් මිලියන 11 කට පමණ ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *