2024 මහ බැංකු වාර්තාව ජනපති අතට

මහ බැංකුව විසින් පසුගිය වසරේ (2024) වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වනු ලැබ තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ විසින් වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
ඒ, අද (අප්‍රේල් 7) ජනාධිපති කාර්යාලයේදී ය.
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.
වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.
මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත.