තරුණයාගේ මරණයෙන් පසු විමර්ශනයක්: වැලිකඩ OIC ඉවත් කරයි, දෙදෙනෙකුගේ වැඩ තහනම්

 

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද තරුණයෙකු මියයෑමේ සිද්ධියට අදාළව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කර ඇත.

එමෙන් ම, වැලිකඩ පොලිසියේ තවත් සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ රාජකාරි තහනම් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා  මහජන ආරක්ෂක අමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කරන ලද පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඉකුත් 1 වන දා රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරීන් ඔහු රෝහල්ගත කර තිබිණි.

රෝහලට ඇතුළත් කළ එම තරුණයා රෝහලේදී මියගිය අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියයෑම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ බදුල්ල, මීගහකිවුල, පහළගෙදර පදිංචි සන්සර නිමේෂ් නමැති 26 හැවිරිදි තරුණයෙකි. ඔහු මීගහකිවුලේ සිට මෙම තරුණයා කොළඹට පැමිණ ඇත්තේ නිරූපණ කේෂ්ත්‍රයට සම්බන්ධ වීම අරමුණු කරගෙනය.

එලෙස පැමිණි ඔහු මාස කිහිපයකට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක රැකියා පුහුණුවකට පැමිණ එම ප්‍රදේශයේ ම විහාරස්ථානයක නවාතැන් ගෙන සිට ඇත.

කෙසේ වෙතත්, ඉකුත් පළමු වන දා වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේ නිවෙසක වත්තකට ඇතුළු වීම සම්බන්ධයෙනි.

එහෙත් ඔහුගේ හැසිරීම මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට නිරීක්ෂණය වීම හේතුවෙන් ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔහු මියයන්නේ එම මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබද්දීය.

‘’අනේ මගේ රත්තරන් පුතේ, උඹට කෝටු පාරක්වත් ඉවසන්න බැහැ පුතේ. මගේ පුතාගේ ඇඟේ මෙච්චර පාරවල් ඇයි. ගහලා මරන්නේ නැතිව පණ තියලා පුතාව මට දුන්නා නම් මගේ හුස්ම දීලා මගේ රන්කඳ මම ගෙදර ගෙනියනවා.’’

නිමේෂ්ගේ මව එලෙස හඬා වැලපෙන්නේ නිලධාරීන් ඔහුට පහර දී ඇති බව කියමිනි.

නිමේෂ්ගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම සෙසු මාධ්‍යය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණි.

එමෙන් ම විසිහය හැවිරිදි මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔහුට පහරදීමක් සිදුකර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා මෙම විමර්ශනය අරඹන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මියගිය තරුණයා සිය ඥාතීන්ට දී ඇතැයි කියන දුරකතන පණිවුඩයක් ගැන ද නිලධාරීන් විමර්ශන අරඹා ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මෙම තරුණයාගේ මියයෑම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර තිබිණි.

එම සංගමය පවසන්නේ, තරුණයා අත්අඩංගුවේ සිටියදී මාරාන්තික තුවාල ලබා ඇති බවට වාර්තා පළ වීමත් එම තුවාල තමන් විසින් ම සිදුකර ගත් ඒවා බවට ප්‍රකාශ කිරිමත් පිළිබඳව කනස්සල්ලට පත්ව ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *