ට්‍රම්ප්ගේ බද්දෙන් බේරෙන්න හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව ත් ආකල්ප වෙනස් කර නොගතහොත් රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බව ත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (අප්‍රේල් 6) පැවසීය.
චීනය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය වැනි රටවල් ඇතුළත් ලෝව විශාලතම ආර්ථික කලාපය ලෙස පරිවර්තනය වෙමින් තිබෙන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය – RCEP වෙත ලංකාව ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
මෙම RCEP සඳහා බැඳෙන්නට කොන්දේසි තිබෙන බව ත් කොන්දේසිවලට යටත් නොවී එම භූ කලාපීය එකතුවට බැඳෙන්නට නොහැකි බව ත් ඔහු කීය.
ඒ සඳහා ආර්ථික හා තාක්ෂණ සංස්ථාමය ගිවිසුම (Economic and technology corporation agreement ETCA) ක්‍රියාත්මක කිරීම, සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව මන්ත්‍රිවරයා කීවේ ය.
ඒ වෙනුවෙන් ආකල්ප වෙනස් කර ගත යුතු බව ඔහු කීය.
මේ දේවල් සිදු කරන ආකාරය පිළිබඳව සමගි ජන බලවේගයේ ‘බ්ලූ ප්‍රින්ට්’ ආර්ථික දැක්මේ තිබෙන බව ඔහු කීය.
එසේ ම, ඇමෙරිකාවෙන් බද්දක් පනවන තුරු සිටින්නේ නැතිව එය අවම කර ගැනීමට වැඩසටහනක් සකස් කරන්නැයි මාර්තු 6 වන දා සිට ප්‍රකාශ කළ නමුත් එම ප්‍රකාශ වැඩකට නැතැයි කී බව ත් දැන් පැනවූ බදු සම්බන්ධව සෙවීමට කමිටුවක් පත් කර ඇති බව ත් මන්ත්‍රිවරයා පැවසීය.
ඇමෙරිකන් තීරු බදු පැනවීම ගැන ඉන්දියාව සහ අනෙකුත් රටවල් ක්‍රියා කළ ආකාරය පිළිබඳව සමගි ජන බලවේගය රජයට පැහැදිලි කර දුන් බව මන්ත්‍රිවරයා පැවසීය.