රටට විදේශ විනිමය හොයන්න ගිහින්  කරාඹු ගසට බිලි වන මිනිස්සු  අනතුරු වළක්වන්න අපනයන කෘෂිකර්මයෙන් උපදෙස් –     (මොහොමඩ් ආසික්)

 

 

 

කරාඹු කියන්නේ මෙරටට  විදේශ විනිමය ගෙන දෙන ප්‍රධාන අපනයන කෘෂි බෝගයක්.  සාමාන්‍යෙයන් වසරකට මෙට්‍රික් ටොන් 3000 ත් 6000 ත් අතර   ප්‍රමාණයක් කරාඹු අපනයනය කරන අතර එමගින් රුපියල්  මිලියන 10,000 කට වැඩි ආදායමක් උපයා ගනී.

නමුත් මෙම කරාඹු අස්වැන්න නෙලා ගැනීමේදී සිදු වන අනතුරු නිසා වාර්ෂිකව පුද්ගලයින් යම්  ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වන අතර තවත් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් වෙති. මේ වන විටත් කරාඹු කැඩීමට ගොස් ගස්වලින් වැටී අනතුරට පත්ව රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා රෝගීන්ද  සිටිති.  කරාඹු කැඩීමේදී ගසින් වැටීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ කරාඹු ගසේ නිවරැදි අතු හඳුනා නොගැනීමත් අනාරක්ෂිතව  කරාඹු කැඩීම නිසා බවත්  ගොවීන් කිහිප දෙනෙකුම අප සමඟ ප්‍රකාශ කළහ.

වසර සිය ගණනක් කරාඹු කැඩීමේදී ගසින් වැටී අනතුරට පත්වීම වැළැක්වීම සඳහා මේ වන විට ගොවීන් නව  තාක්ෂණික  ක්‍රම කිහිපයක් භාවිතා කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන් දැනුවත් කරයි.

කරාඹු වැඩි වශයෙන් වගා කරන මධ්‍යම පළාතේ මහනුවර මාතලේ නුවරඑළිය  දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් සඳහන් කරන්නේ දීර්ග කාලයක් තමන් අනාරක්ෂිත ක්‍රම මගින් කරාඹු අස්වැන්න නෙලා ගැනීම සිදු කරමින් පැමිණි බවයි. නමුත් මේ වන විට යම් සුළු ගොවීන් ප්‍රමාණයක් මෙම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළද වැඩි පිරිසක් එයට හුරු නොවීම නිසා තවමත් අනතුරු  විශාල වශයෙන් සිදු වෙමින් පවතින බවද ඔවුහු කියති. එම නිසා කරාඹු අස්වැන්න  කඩා ගැනීමේදී සිදු වන අනතුරුවලින් තම ජීවිත ආරක්ෂා කර ගැනීමටත් ආබාධිත වීම වළක්වා ගැනීම සඳහාත් කරාඹු කැඩීමේදී මෙම ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ගොවීන් අනෙකුත් සහෝදර ගොවීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ  සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ දීර්ග කාලයක් කරාඹු වගා කරන ගොවි මහතෙකු වන එස් .ජේ. විජයානන්ද මහතා මෙසේ කීය.

‘ අපේ පළාතේ ප්‍රධාන කෘෂිකාර්මික බෝගය තමයි කරාඹු .අපි ඉස්සර මේවා කඩන්නේ අනාරක්ෂිත විදිහට.  දැන් ආරක්ෂිත විදිහට පටියක් පැළඳ ගෙන ආරක්ෂිතව අතු අග තියෙන මලත් කඩා ගන්න මේක උපයෝගි වෙනවා.මීට පෙර අපි කිසිම ආරක්ෂිත දෙයක් පළඳින්නේ නැතිව තමයි මේ අස්වනු නෙළුවේ. මෙහෙම කරාඹු නෙලන එක හැම අතින්නම ආරක්ෂිතයි.“

මෙහිදි අපට හමු වූ තවත් ගොවි මහතෙකු වන  මයුරපාල ගුණසේකර මහතා මෙසේ කීය.

“ අපේ ප්‍රදේශයේ කරාඹු බහුලව තියෙනවා. ඒ නිසා අපට හොඳ ආදායමක් ලබන්න පුළුවන්. මේ කරාඹු නෙලා ගැනීමේදී පවතින අනාරක්ෂිත භාවය නිසා තරුණ පිරිස් මේකට යොමු වීම අඩුයි. කරාඹු අස්වැන්න  විනාශ නොවී සම්පූර්ණ වශයෙන් ලබා ගන්න නම් මේ ආරක්ෂිත ක්‍රම වේදය අනුගමනය කරන්න ඕන .අපේ ගමේ ඒක බහුලව තියෙනවා. නමුත් අනෙක් ගම්මානවල ගොවි මහතුන්ටත් අපි කියන්නේ මේ ක්‍රම අනුගමනය කරන්න කියලයි“

දෙහිඅත්ත කණඩිය ප්‍රදේශයේ සිට කරාඹු කැඩීම සඳහා පැමිණ සිටි ජයන්ත රාජපක්ෂ මහතා අප සමඟ මෙසේ කීය.

‘ මම කරන්නේ වී ගොවිතැන ගොවිතැන් ඉවර වෙලා මේ ප්‍රදේශයට කරාඹු  කඩන්න එනවා.අපි ආරක්ෂා සහිතව ලණු බැඳලා ලී පාවිච්චි කරලා තමයි කරාඹු කඩන්නේ ඒ නිසා අනතුරුදායක තත්වය අඩුයි. හැමෝටම කියන්නේ ආරක්ෂා සහිතව මේ වැඩේ කරන්න කියලයි යැයි ද කීය.

අපනයන කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ආර්.කේ. ඩබ්ලිව්.රන්කෙත්කුඹුර මහතාගෙන්   මේ සම්බන්ධයෙන් කළ විමසුමකට ඒ  මහතා මෙසේ කීය.

‘ අපනයන කෘෂි බෝග අතර කරාඹු කියන්නේ ප්‍රධාන බෝගයක්. වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000 ත් 6000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනවා.මෙමගින් වාර්ෂිකව රුපියල් මිලියන 10,000 ක පමණ ආදායමක් ලබා ගන්නවා.නමුත් කරාඹු කඩන්න ගිහින් සිදු වන අනතුරුවලින් ජීවිත හානි සිදු වෙනවා .ආබාධිත තත්වයට පත් වෙනවා. මේ නිසා ඇතැම් අයගේ පවුල්වල ආර්ථිකයටත්  මේක සෘජු ලෙස බලපානවා. ඒ නිසා කරාඹු කඩන්න යෑමට පෙර ඒකට අවශ්‍ය දැනුම ලබා ගෙන කරාඹු අස්වනු නෙලීම ඉතාම වැදගත්. ඒ වගේම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා කරාඹු කඩන්න ඕන.ආරක්ෂා සහිතව කරාඹු නෙලන ක්‍රම පිළිබඳව සහ තාක්ෂණික උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරල ලබා ගන්න පුළුවන් යැයිද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *