පාස්කු ඉරුදින ප්‍රහාරය – කාදිනල් හිමිගේ ප්‍රකාශය සහ ආණ්ඩුවේ පිළිතුරු –  මෙලනි මානෙල් පෙරේරා

තවත් මසකින් පමණ පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 6ක් ගතවීමට නියමිත බැවින් ඊට පෙර වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර පොරොන්දු වූ පරිදි හැකි ඉක්මනින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් දක්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමි පසුගියදා අගරදගුරු ශ්‍රවණාගාරයේ දී පැවතී උත්සවයකදී ප්‍රකාශ කළේය. එමෙන්ම, සුභදායි පිළිතුරක් නොලැබෙන්නේ නම්, යළි වතාවක් යුක්තිය ඉල්ලා පාරට බැසීමට සිදුවන බව උන්වහන්සේ අවධාරණයකොට ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ සියලු පරික්‍ෂණ කටයුතුවල නිරතවන බවත් මේ වන විට යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන සිටින බවත් තවත් කටයුතු කිහිපයක් ඇතිබවත් කාදිනල් හිමිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රජයේ කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (මාර්තු 18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

 
අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය මඟින් 2025 ජුබිලි වසර වෙනුවෙන් අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කාර්යයන් හී නිරත කිතුනු මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් මාර්තු මස 15 වෙනි දා සංවිධානයකර තිබූ සමුලුව ආමන්ත්‍රණය කරමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි එසේ ප්‍රකාශ කළේය.
 
“අපි මේ ආණ්ඩුව බලයට පත් කළේ මේ ක්‍රමය වෙනස් කරන්න, නමුත් ඒක සිදු නොවුණොත්, අපේ ස්ථාවරය නැවත සලකා බලන්න වෙනවා,”  අගරදගුරු හිමි පැවසීය.

අගරදගුරු රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයා තම කැපවීමට, විශේෂයෙන් කටුවපිටිය පල්ලියේදී දුන් පොරොන්දුවට ගරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර, ක්‍රියා කිරීමට අපොහොසත් වීම නව විරෝධතාවලට තුඩු දෙන බවට අනතුරු ඇඟවීය.
 
“පාස්කු ප්‍රහාරයේ සත්‍යය කාලයේ වැලිතලාවට යට කිරීමට ඉඩ නොදෙන බවට” එදින පොරොන්දු වූ බව කාදිනල් හිමි   සිහිපත් කළේය.

“වත්මන් ආණ්ඩුවට ලබා දී ඇති බලය භාවිතා කරන ලෙස අපි ඉල්ලා සිටිනවා…….. පාස්කු ප්‍රහාරයේ යුක්තිය සහ සත්‍යය සඟවා නොගෙන, අන් අය සමඟ ඩීල් නොදා ….. සත්‍යය වෙනුවෙන් වැඩ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. යැයි කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය. 

 
මේ අතර, කාදිනල් හිමිගේ ප්‍රකාශය අවතක්සේරු කිරීමට රජය සූදානම් නැති බවත් , එවැනි බැරෑරුම් ප්‍රශ්නයකදි සෘජු වින්දිතයින් බවට පත්වන පාර්ශවයට, සාමාන්‍ය සමාජයට වඩා දැඩි කම්පනයක් ඇතිවන බව තමන් පිළිගන්නා බවත් ප්‍රකාශ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස,” කතෝලික කිතුනු බැතිමතුන් වෙත සිදුවුණු හානිය පිළිබඳව කාදිනල් හිමිගේ හැගීම ඉතාම සාධාරණයි. ඒ වගේම රජයක් හැටියට අපිටත් වගකීමක් තිබෙනවා. අපි ඒ කටයුතු කරගෙන යනවා”යැයි ප්‍රකාශ කළේය.

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් එහි සැළකියයුතු දුරක් ගමන්කර ඇති බව සඳහන් කළ ඇමති නලින්ද, ඊට අදාළව නීතිමය ක්‍රියාවලිය ඉදිරියේදි දැකගත හැකි වන බව කීවේය.

“අපි ආණ්ඩුව භාරගත්තේ මේ ප්‍රහාරයන් සිදුවෙලා සාක්‍ෂි හොඳින් පේන්න තිබිලා, වරදකරුවන් හඳූනා ගන්න බොහෝම පහසු පරිසරයක දී නොවෙයි. ඝාතකයින් ම මේ සිදුවීම උපයෝගි කරගෙන රාජ්‍ය බලය ලබාගෙන, සාක්‍ෂි වසන් කරපු පරිසරයක් ඇතුලේ දීයි. ඒ වගේම මේ සාක්‍ෂි පිළිබඳව විමර්ශනය කරමින් සිටි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ඇතුලු පුද්ගලයින් සී සී කඩ විසුරුවලා දැම්මා. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුව විසින් පසුගිය කාලය තුළදී අත්පත්කර ගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව යම්තරමකට අපි සෑහිමකට පත්වනවා”. යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

“තවත් විසඳා ගත යුතු තැන් කිහිපයක් තිබෙනවා. ඒ කටයුතුත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් දිගටම සිදුකරගෙන යනවා.” යැයි ඔහු කීවේය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *