ඩොලර් මිලියන පහක් ආයෝජනය කළොත් ඇමරිකන් පුරවැසි බව

ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී ඇත.

‘ආයෝජකයන් සඳහා වසර 35ක් වීසා’ නමැති ආයෝජන සඳහා වීසා ලබාදෙන පැරැණි ක්‍රමය වෙනුවට ට්‍රම්ප් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබේ.

නව වීසා ක්‍රමය ‘ගෝල්ඩ් කාඩ්’ නමින් හඳුන්වන අතර ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉහළ සුදුසුකම් සපුරා ගැනීමට හැකි වන බව වාර්තා වේ.

මේ නිසා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නව ක්‍රමය ග්‍රීන්කාඩ් ක්‍රමයට සමාන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මුදල් ආයෝජනය කර වීසා ලබාගත හැකි ක්‍රමයක් දැනටමත් එක්සත් ජනපදය තුළ පවතින අතර E-B 5 වීසා නමින් හඳුන්වන එම කාණ්ඩය 1990දී ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා කොංග්‍රසය හඳුන්වා දී ඇත.

මේ අනුව, මුදල් ආයෝජනය කර ලබාගත හැකි E-B 5 නමැති වීසා වෙනුවට නව ‘ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා’ ඉදිරි සති 2ක කාලය ඇතුළත ට්‍රම්ප් පරිපාලනය හඳුන්වා දීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නව වීසා ක්‍රමය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී ඊයේ (පෙබ. 26) මෙසේ ද කීවේය.

“එක්සත් ජනපදයට ඩොලර් මිලියන 5ක් එක්ක එන ඔවුන් ධනවත් වේවි. ඔවුන් සාර්ථක වේවි. ඔවුන් විශාල මුදලක් වියදම් කර, විශාල බදු ගෙවා බොහෝ දෙනෙකුට රැකියාත් ලබා දෙනු ඇත. මේ ක්‍රමය අතිශයින් සාර්ථක වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *