ආණ්ඩුව අපිව රැවට්ටුවා- හෙදියන් පාරට

 

අයවැය යෝජනා මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (පෙබ. 27) දහවල් 12:00ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ‘මව්බිම’ට පැවසීය.

කොළඹ මහ රෝහල, කරාපිටිය මහ රෝහල, මාතර මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය මහ රෝහල ඇතුළු සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සිදුවන්නේ යැයි රත්නප්‍රිය මහතා කීය.

මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.

මේ ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද එය නොලැබුණේ යැයි කී හෙතෙම මෙම විරෝධය ගැන ඔහුට ලිඛිතව දැනුම් දුන්නේ යැයි ද පැවසීය.

2025 සඳහා වන අයවැය යෝජනාව තුළින් හෙද සේවාවන්හි වැටුප් රුපියල් 6,500 සිට 11,500ක් දක්වා අහිමි වීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔහු කීවේය.

මේ වනතෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇති බවත් හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනෙකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිලධාරියෙකු විසින් සිදුකරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිලධාරියෙකු හට මසකට රුපියල් 6,500ක් පමණ අහිමි වන බවද රත්නප්‍රිය මහතා කීය.

ශ්‍රේණීන්වල ඉහළට යෑමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියකුගේ (ර්ධබපධද) අහිමි වන මුදල රුපියල් 11,500ක් පමණ වන බව ඔහු පැවසීය.

තවද මෙවර අය-වැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවද රත්නප්‍රිය මහතා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed