සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රිමාන්ඩ්

මෙම නියෝගය ලබා දී ඇත්තේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන විසිනි.
අදාල සැකකාරිය හා සැකකරුවා කොළඹ අපරාධ කොට්ඨාශයේ පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගත් බව ත් එහි ප්‍රගති වාර්තාවක් ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හා සැකකරුවා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම විය.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයෙන් පසුව මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති නැමැත්තිය හා සැකකාර සෙව්වන්දි නැමැත්තියගේ බාල සොහොයුරෙකු වන මීගමුව කටුවා ඇල්ලේගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්පුර දේවගේ චාමික තිවංක වීරසිංහ නමැති දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේ ය.
අදාළ සැකකාරිය හා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (පෙබ. 25) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබුණි.
ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කරන බව දැන සිටියදීත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වසංකර එම සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙබරවාරි 24 වන දා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි.