දුම්රිය ගමන්වාර අවලංගුවීම අවම කිරීමට මෙම මාසය තුළදී වැඩපිළිවෙලක් , ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. – නදීක දයා බණ්ඩාර

 

 

දුම්රිය ගමන්වාර අවලංගු වීම සහ දුම්රිය ප්‍රමාදය අවම කිරීමට  නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ක්‍රියා විරහිතවී මාසයකට වඩා වැඩි කාලයක් රත්මලාන දුම්රිය අංගනයේ අලුත් වැඩියා කරන  බලවේග කට්ටල කඩිනමින් ධාවනයට යොදා ගනිමින් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර සිට ඇල්ල දක්වා ධාවනයට එක්වූ ඇල්ල ඔඩිසි සති අන්න දුම්රියේ මංගල ගමන්වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා දිනකට දුම්රිය ගමන්වාර 217ක් ක්‍රියාත්මක වන බවත් ඉන් ගමන්වාර 20ක් පමණ පසුගිය කාලයේදි දිනපතා අවලංගු වූ බවත් කීවේය. දුම්රිය රියදුරු විභාගයක් හේතුවෙන් එක් අවස්ථාවක ගමන්වාර 50ක් පමණ අවලංගුවූ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීහ.

එබැවින් දුම්රිය අවලංගුවීම වැළැක්විම සඳහා දුම්රිය ඇන්ජින් ප්‍රමාණය මනා ධාවන තත්ත්වයේ පවත්වා ගත යුතු යැයි කී ඒ මහතා දෛනික ධාවනය සඳහා ඇන්ජින් 60ක් 70ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද පැවසුවේය. එනමුත් ඉකුත් සමයේදී සැපයුම 45ත් 50ත් අතර මට්ටමක පැවැති බව ද ගුණසේන මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා රත්මලාන දුම්රිය නඩත්තු අංශය සමඟ සාකච්ඡා කොට දීර්ඝ කාලීනව සිදුවන අලුත් වැඩියා කඩිනම් කරන බවත් ඒ අනුව මෙම මාසය අවසන් වන විට දුම්රිය ඇන්ජින් 60ක ප්‍රමාණයක් දිනපතා දුම්රිය ධාවනය සඳහා එක් කොට එමගින් දුම්රිය ගමන්වාර අවලංගුවීම අවම කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙරට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාවෙන් 52%ක් නියමිත වේලාවට ගමනාන්ත දක්වා ගමන් කරන බවත් 17%ක ප්‍රමාණයක් මිනිත්තු 10කට වඩා ප්‍රමාද වන බවත් කී අමාත්‍යවරයා 10%කට වැඩි ප්‍රමාණයක් පැය භාගයකට වඩා ප්‍රමාද වන බව ද කීවේය. දුම්රිය ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රමාදය වැළැක්වීම කෙරෙහිද අවධානය යොමු කොට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය පිරිසිදුභාවය සහ සුව පහසුතාව පිළිබදව ද අවධානය යොමු කොට ඇතැයි ද ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *