ඉදිරි පස් අවුරුද්ද තුළ දුගී බව තුරන් කිරීමේ නව වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් – නදීක දයා බණ්ඩාර

ආර්ථික ක්‍රියාවලිය සඳහා අඩු ආදායම්ලාභීන් දායක කොට දුගී බව  තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා පවසයි.

සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් කප්පාදු කිරීමක් මේ යටතේ සිදු නොවන බවත් ඒ වෙනුවට තව දුරටත් අස්වැසුම ඉල්ලා සිටින ලක්ෂ පහක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කොට ඇතැයි ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (03) පැවැති වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නව ප්‍රතිලාභීන් බඳවා ගැනීම සහ දැනට ප්‍රතිලාභ ලබන පිරිස් පූර්ණ අධීක්ෂණයක් කරන බවත් ඔවුන් රජයේ ආර්ථීක ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් දායක කර ගන්නා බව ද කීවේය.

ඉදිරි අවුරුදු පහක කාලය තුළදී පවුල් ලක්ෂ පහක් සඳහා නව අස්වැසුම ප්‍රතිලාභ හිමිවන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වසරකට ලක්ෂ 04 බැගින් අවුරුදු 05ක කාලය තුළදී මෙම සහනාධාර ලබා දෙන බව කීවේය. නමුත් සහනාධාර ලබාදීමේ මානසිකත්වයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා රටේ ආර්ථීකයට සක්‍රිය අයුරින් දායක කර ගනීම මේ යටතේ සිදුවන බව ද ඔහු පැවසුවේය.

වර්ෂ 1995දී තුන් ලක්ෂ විසි එක් දහසක් වූ ආරම්භක සමෘද්ධිලාභීන් ප්‍රමාණය මේ වන විටත් සමෘද්ධී ප්‍රතිලාභ ලබමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම ක්‍රමය වෙනුවට නව සහනාධාරලාභීන් ආර්ථිකයට දායක කොට ආධාර ලබා ගැනීමේ වැඩසටහනින් ඉවත්වීම සිදුවිය යුතු යැයි පෙන්වා දුන්නේය.

ආධාර ලබා ගැනීමේදී රජයේ යෝජනා මෙන්ම සහනාර අපේක්ෂකයන්ගේ යෝජනා අනුව ඔවුන්ට සුදුසු ආදායම් මාර්ගයක් කරා යොමු කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආධාර උපකාර හිමි වන බව ද ඔහු කීහ. ඒ අනුව දහසකට අධීක සමෘද්ධි බැංකුවල තැම්පත් කොට ඇති රුපියල් බිලියන 241ක මූල්‍ය වත්කම් ණය හා ණය ආධාර වශයෙන් ලබාදී ආර්ථික වර්ධනය සඳහා ජනතාව සම්බන්ධ කර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රාධා නානායක්කාර, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *