මැතිවරණ රැස්වීමට බස් නැවතුම්පොළක්ම අවැසිද? අවනඩුව විසඳන්න බලධරයිනි, ඇස යොමන්න – ප්‍රසාද් පුර්ණමාල්

විටෙක කන් බිහිරකරවන තරමටම යකඩ කටෙන් නැඟෙන කන්කරච්චල් හඬවල්ය. තවත් විටෙක යටිගිරියෙන් කෑ ගසන, තමන්ගේ කෙරුවාවල්, පුරසාරම් දොඩවන දේශපාලන කතාබස් ය; හැඟුම්බර, සංවේදී, සුරංගනා කතා ය. මේ සියලු කන්රිදවුම් මැද, දහඩිය පෙරාගෙන, කුසගිනි දරාගෙන නිවෙස් කරා යෑමට පැමිණෙන දහස් ගණන් ජනයා, පොදිකමින් සීසීකඩ දුවන්නේ, තමාට නියමිත බසය සොයාගෙන ය. ඒත් බස් නැවතුම්පොළ, දේශපාලන පොරපිටිය මැද හතිලන, දේශපාලනඥයන්ගේ ආඩපාළි බෙදාහරින රැස්වීම් පොළක් බවට පත්ව ඇත. මේ නිසා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පීඩාවට පත්වේ. මෙය අද ඊයේ නොව, අනාදිමත් කලක සිට සිදුවන මහජන දේපොළ අවභාවිතයකි. මේ එම අවනඩුව පිළිබඳ විමසීමකි.

…………………………………………………………………………………………………………………………………………………….

පාසල් නිල ඇඳුමින් සැරසුණු ඇගේ මුව මඩල රත්පැහැ ගැන්වී ඇත. නෙත් කෙවෙණි අගින් රෑරා වැටෙන්න මාන බලන කඳුළු බිඳු හීන් සීරුවේ සඟවා ගත් ඇය, බිම බලාගත්වනම සිටින්නීය. අපහසුතාවෙන් ඇඹරෙමින් සිටින ඈ දුටු  යෙහෙළියෝ, ඇ‌ගේ තනි නොතනියට එහි දිව ආවෝය. සෙමින් සෙමින් යමක් මිමිනූ ඇය, ලේන්සුව ගෙන කඳුළු පිස දැමුවාය.

ඇගේ යෙහෙළියක අසල සිටි කෙනකු වෙත පැමිණ බයාදු වී පිළිසරණක් පැතුවාය.

“මාමෙ, අර පිරිමි ළමයි අපට මෙතැන ඉන්න දෙන්නෙ නෑ. උසුළු විසුළු කරනවා. මගෙ යාළුවට හරියට කරදර කරලා. අද මෙතැන බස් නැති නිසා අපට වෙච්ච කරදරයක්.” ඇය ඔහුට පැවසුවාය.

“අද දේශපාලන මීටිමක්. බස් එක තියෙන්නෙ කොහෙද කියලා බැලුව ද?” බස් නැවතුමේ සිටි නන්නාඳුනන ඒ මාමා, යෙහෙළියන් තිදෙනා වෙත ගොස් ඔවුන්ට පිහිට වූයේ ය.

පාසල ඇරී නිවෙසට යෑමට පැමිණි ඇය, වෙනදා තම බස් රථය නවත්වන තැන එය නොතිබීම නිසා මුහුණ දුන් එම අපහසුතාව, කාට නම් දැනේවිද? මේ ගැටලුව නිසා තමා විඳි වේදනාව, දුක පිළිබඳ දන්නේ ඇයම පමණි.

අසල තවත් දැරියක් බසයක් නොමැතිව අසරණවී සිටිනු දුටු මේ තලතුනා මිනිසා, ඇයට පිළිසරණක් වීමට තතු විමසුවේය.

“ආණමඩුව බස් එක එනකං හිටියෙ. අද ඒක මෙතැන නවත්වලා නැහැ. මං ඒක තියෙන්නේ කොහෙද කියලා නැන්දා කෙනෙක්ගෙන් ඇහුවා. එයා දන්නෙත් නැහැ. හැමතැනම හෙව්වා. ඒ වෙද්දි බස් එක ගිහිං. මං සීසන් අරන් ඉන්නේ.

මං අද මෙතැන මීටිමක් තියෙනවා කියලා දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා අතේ තිබුණු සල්ලිවලින් දවල්ට කෑවා. සල්ලි නැති නිසා ප්‍රයිවෙට් බස් එකක යන්නත් බැහැ. ගෙදරින් එනකං දැන් යන්න විදියක් නෑ. නැන්දා කෙනෙක්ගෙන් කෝල් එකක් අරන් අම්මට මෙතැනට එන්න කියලා කිවුවා.”

මේ, බස් නැවතුම්පොළේ රැස්වීමක් නිසා දරුවන් කිහිප දෙනෙකු පීඩා විඳි ආකාරය ය. දරුවන් පමණක් නොව, වැඩිහිටියන් ද මේ නිසා අපහසුතාවට පත් විය.

“මහත්තයා, දේවාල හන්දියට යන්න බස් එක ගන්නෙ කොහොමද? වෙනදා තියෙන තැන අද ඒක නෑනෙ. අයියෝ! දැන් මොකද කරන්නේ?” ඒ තෙරේසා ගෝවින්දාගේ අසරණකම රෑරා වැටෙන හඬ ය.

“අද බස් ගහන්නෙ කොහෙද? මෙතැන මීටිමක්නෙ. ෂික් විතරක්…” එමානුවෙල් පැවසුවේ තම පීඩාවේ තරම ය.

බස් නැවතුම්පොළේ පැවැති රැස්වීම, දරුවන්, වැඩිහිටියන්, කාන්තාවන් කී දෙනෙකුට අපහසුතාවක් වුණා ද? ජන ගඟක් ඒකරාශී වූ බව පෙන්වීමට දේශපාලනඥයන් බස් නැවතුම්පොළ අවභාවිත කළ නිසා, කී දෙනෙක් අවාසනාවන්ත, කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න ඇත් ද? ඒ පිළිබඳ කිසිවකු නොදනී.

 දෛනික දිවියම අඩාළයි

සෑම නගරයකම මහජන ක්‍රීඩාංගණ ඇත. කුඩා නගරයක වුව ද මහජන ක්‍රීඩාංගණයක් නැත් නම් ඒ කලාතුරකිනි. දේශපාලන රැස්වීම් හෝ කුමනාකාරයක රැස්වීමක්, උත්සවයක් හෝ තැබීමට එවන් තැනක ඕනෑවටත් වඩා ඉඩ පහසුකම් ඇත. ජන ගඟකට වුව රැස්වීමට ද ඉඩ ඇත. මේ නිසා කිසිවකුගේ දෛනික කාර්ය කටයුතුවලට අපහසුතාවක් ඇති වන්නේ නැත.

එවන් තත්ත්වයක් තිබියදී, මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලන රැස්වීම් තැබීමට බස් නැවතුම්පොළ භාවිත කරන්නේ ඇයි? එයට එකම හේතුව, තම දේශපාලන රැස්වීමට පැමිණෙන්නේ නැති ජනතාවට බලෙන් ඇසීමට සැලැස්වීම ය. එය කෙතරම් ප්‍රජාතන්ත්‍රවිරෝධී, නීති විරෝධී ක්‍රියාවක් ද? මැතිවරණ සමයේ රැස්වීම් පැවැත්වීමට පොදු දේපොළ පරිහරණය නිසා පීඩාවට පත් හලාවත පදිංචිකරුවකු වන ආනන්ද රාජකරුණා, තමා මුහුණ පෑ කටුක අත්දැකීමට විසඳුම් ලෙස ඉදිරිපත් කරන්නේ මෙවැනි යෝජනාවකි.

“මෙය සපුරා තහනම් වැඩක්. බංකොලොත් දේශපාලකයන්ගේ ප්‍රධානම ක්‍රමවේදයත් ඕකයි. ඕක මේ අය බලය පෙන්වන්න කරන වැඩක්. මිනිස්සු මේ අයගේ මතවාද අහන්න කැමැති නැති නිසා මේ විදියට බලෙන් අස්සවනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. මිනිස්සු ප්‍රිය නොකරන දෙයක් බලෙන් අහන්න සැලැස්වීම වැරැද්දක්. අහිංසක දරුවො බස්වලින් පාසලට එන්නේ වාර ප්‍රවේශපත්‍රයක් අරගෙන. මේ ස්ථානයේ ප්‍රධාන පාසල් හතරක් තිබෙනවා. ඒ දරුවන්ට මවුපියො කියලා දීලා තියෙන්නේ බස් එක නවත්වන්නේ බස් නැවතුම්පොළේ අහවල් තැන. පුතාලා එතැනට ඇවිත් බස් එකට නගින්න කියලයි. අර දරුවා පාසල අවසන් වුණු ගමන් බසය නවත්වන තැනට එනවා. රැස්වීමක් තියෙන දවසට වෙන්නේ පුංචි දරුවෙක් නම් බස් එක තියෙන තැන දන්නේ නැහැ. බසය තියෙන තැන දැන ගන්න පුද්ගලික බස් නැවතුමේවත්, ලංගම නැවතුමේවත් අඩුම තරමේ ශබ්දවිකාශන යන්ත්‍රයක් වත් නැහැ.

මේ වගේ දවසකදි ඒ අහිංසක දරුවා බස් එක හොයලා අන්තිම අසරණ වෙනවා. සමහරවිට බස් එක හොයලා හොයලා අවසානයේ ඒ බස් එක පිටත්වෙලා. එවිට ඒ අසරණ දරුවට බස් එකක් නැති වෙනවා. 2.20ට තියෙන බසය ගියාට පස්සේ සමහරවිට බසයක් තියෙන්නේ 3.20ට 4.20ට වෙන්න පුළුවන්. මේ විදියට ගැහැනු දරුවෙක් පැය ගණනක් බස් නැවතුම්පොළේ තනිවෙලා සිටිද්දි මොන තරම් ප්‍රශ්නයක් එතැන වෙන්න පුළුවන්ද? ඒක ලොකු වරදක්. අතේ සල්ලි නොතිබුණොත් පුද්ගලික බස් රථයක යන්න බැහැ. රැස්වීම් තියෙන දවස්වලදි ගෙදර යන්න විදියක් නැතිව ඥාතීන්ගෙ ගෙවල්වල නැවතිලා පහුවදා ගෙදර ගිය ළමයි ඉන්නවා. පොළට යන්න එන සමහර අම්මලා අතේ ගාණට මුදල් අරගෙන එන්නේ. සමහරු බඩු ටික අරගෙන ත්‍රීවීලරයක ඇවිත් බසයට නගින්නේ. එතැනට එද්දි බස් එක නැහැ. ත්‍රීවීලර්කරුවා වටේ ගිහින් බස් එක හොයලා දෙනවට අර අම්මගෙන් තව පන්සියයක් ගන්නවා. අපට නෙපෙනුනාට මිනිසුන් මේ වගේ දිනවලදි විවිධාකාරයේ අපහසුතාවලට ලක් වෙනවා. මේ විදියට පොදු දේපොළ අවභාවිතය නිසා මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම අසාධාරණයක් වෙන්නේ.

දේශපාලන හෙංචයියලාගේ අවශ්‍යතා සඳහා ලංගම සහ පුද්ගලික බස්නැවතුම භාවිත කිරීම සපුරා නීති විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී නැති, ජාතිද්‍රෝහී වැඩක් සහ අහිංසක මිනිස්සුන්ට කරන අසාධාරණයක්. ඒ නිසා, ඒක සපුරා නැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයෙදි හලාවත බස් නැවතුම්පොළ හැමෝම පාවිච්චි කළා. ජනාධිපතිගෙ රැස්වීමට දවස් දෙකකට කලින් වේදිකාව හැදුවෙ. දවස් දෙකකට පස්සෙ ගැලෙව්වෙ. සතියක් යනතුරු බස් එකක් හරියට නවත්වන්න තැනක් තිබුණෙ නෑ. මේ වෙන අසාධාරණය කාටද පේන්නෙ? මේ වෙන අසාධාරණය වගකිවයුත්තන්ට පේනනෙ නැද්ද? බස් නැවතුම්පොළ වගේ පොදු තැන් ගන්නවට මං සපුරා විරුද්ධ ඒකයි. හලාවත රැස්වීම් තියන්න ඕන තරම් තැන් තියෙනවා. මැල්පුර ක්‍රීඩාංගණය, ඉච්චම්පිටිය ක්‍රීඩාංගණය තියෙනවා. මේ ස්ථාන ගැළපෙන්නේ නැත් නම්, වෙරළ උද්‍යානයට ගිහින් ඕන තරම් කෑ ගහන්න පුළුවන්.

මේ ස්ථානය දේශපාලන රැස්වීම් පැවැත්වීමට ලබා දෙන නගර සභාව, ඩිපෝව වගේ තැන්වල බලධාරීන් මේ දේට වග කිව යුතුයි. ඩිපෝව, ඩිපෝ අධිකාරීතුමා ඇතුළු එහි සියලුම දෙනා මේ තත්ත්වය පිළිබඳ මැතිවරණ රැස්වීම් සංවිධානය කරන අයට කරුණු පැහැදිලි කර දෙන්නේ නැතිකමක් තියෙන්නේ. සමහර වෙලාවට ඒ අයගේ මිත්‍රයො ඔතැනට එන්නෙ. ඒ නිසා ඒ අය මේ තත්ත්වය පැහැදිලි කර දෙන්න බයයි. මේ අසාධාරණය ඒ අය කතා කරන්න ඕන දෙයක්. නගර සභාවත් මේ සඳහා සහයෝගය දෙනවා. ‘කමක් නෑ. එතැන ගන්න කියනවා.’ ඒ නිසා, එක්කෙනෙක් නොවෙයි, මේ සියලුම දෙනාම මේ සඳහා වග කිව යුතුයි. මේ තත්ත්වය සපුරා නැවැත්විය යුතුව තිබෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මේ වගේ පොදු ස්ථාන දූෂණය නැවැත්වීමට කටයුතු කළ යුතුයි.”

නොදනිමි කාගෙ දොසා

බස් නැවතුම්පොළට ජනතාව පැමිණෙන්නේ බස් රථ තිබේ නම් පමණි. දේශපාලන රැස්වීමක් තබනවිට දින තුන හතරක්ම බස් නැවතුම්පොළ සඳහා බස් රථ පැමිණෙන්නේ නැත. ඒසේ වූ විට එම දින ගණනම ජනතාව එම ස්ථානයේ ගැවසෙන්නේ නැත. එවිට මගීන් මෙන්ම කඩකුලී ගෙවමින්, ණය වෙමින් සුළු පරිමාණයෙන් ව්‍යාපාර කටයුතුවල නියැළෙන වෙළෙඳුන් ද අසරණ වේ.

“බස් නැවතුමේ රැස්වීමක් තියෙනවා කියලා අපට ගැටලුවක් නෑ. ඒත් ඒ වගේ දිනවලට කිසිම මිනිහෙක්ට වැඩක් කරන්න බැරි වෙනවා. අපිත් ඒ දිහාවෙ බලාගෙන ඉන්නවා. රැස්වීම අවසන්වෙලා මිනිස්සු ගියාට පස්සේ අපටත් එදා දවසෙන් වැඩක් නැති වෙනවා. බස් අරෙහෙ ගහනවා; මෙහෙ ගහනවා. රැස්වීම් තියන්න ක්‍රීඩාංගණයක් වගේ තැනක් වෙන් කර ගත්තා නම්, ඒක කාටත් සාධාරණයි. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. මේ ගැන මං වගේ පුංචි වෙළෙන්ඳෙක්; අපි වගේ මනුෂ්‍යයෙක් දෙන්නෙක් කතා කළා කියලා වැඩක් වෙන්නෙ නෑ. දැන් බලන්නකො මිනිස්සු පුරෝලා කාට ඡන්දය දුන්නත් එකයිනෙ. මිනිස්සු හාල් කිලෝව රුපියල් දෙසිය විස්සට තිහට කාලා, දැන් රුපියල් දෙසිය පනහට හැටට කනවා. දුප්පත් මිනිස්සුන්ගේ දුකට බලන්නේ නැහැ. කෙළින්ම බලයයි, ධනයයි ගැන විතරයි බලන්නේ. මිනිස්සුන්ගෙ දුක ගැන බලද්දි, ඒ අවුරුදු පහත් ඉවරයි.”

බස් නැවතුම්පොළ කාගේවත් බූදලයක් නොවේ. පොදු පරිහරණය සඳහා ඇති ස්ථානයකි. එහි පොඩි කඩයක් දාගෙන සිටින තැනැත්තා වුණත් එම ස්ථානය වෙනුවෙන් නගර සභාවට කඩකුලී ගෙවයි. එසේ කටයුතු කරන දුප්පත් වෙළෙන්දාට පවා බස් නැවතුම්පොළේ දේශපාලන රැස්වීම් තැබීම මහත් පාඩුවකි. හලාවත බස් නැවතුම්පොළ වෙළෙන්දියක වන නිලන්ති ප්‍රනාන්දු තමා මුහුණදෙන ගැටලු පිළිබඳ පවසන්නේ මෙසේ ය.

“අපි නගර සභාවට වෙලාවට කඩකුලී ගෙවන්න ඕනැ. බස් නැවතුම්පොළ කිසිම දේකට නොදී ඉන්නවා නම් අපි කැමතියි. එහෙම දුන්නාම අපට කඩ වහන්න වෙනවා. බස් නැවතුම්පොළට බස් දාන්න බැරි වෙනවා කියන්නේ, අපට ආදායම් නැත්තටම නැති වෙනවා කියන එකයි. බස් නැවතුම්පොළට බස් ආවෙ නැත් නම්, අපට වෙළෙඳාමක් කර ගන්න ලැබෙන්නේ නැහැ. පසුගිය දෙසැම්බර් මාසෙ ජාත්‍යන්තර පාසලක ප්‍රසංගයක් තිබුණා. ඒ වගේ වෙලාවට  වෙන වෙන වාහන ඇවිත් බස් නැවතුම්පොළට දානවා. එහෙම වුණාම අපට කරදරයි.”

බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් වෙනුවෙන් ලබා දීමේදී තම නිලධාරීන් සහ පීඩාවට පත් වන ජනතාව වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? මේ අවනඩුව විසඳන්නේ කෙසේද? ශ්‍රීලංගම හලාවත ඩිපෝ කළමනාකරු, ආර්.එච්.එම්.ප්‍රසන්න බණ්ඩාර රාජකරුණා පවසන විසඳුම මෙසේය.

“මැතිවරණ කාලයේදී නගර සභාවට ඉතා සුළු මුදලකට අපේ බස් ගාල ලබා දෙනවා. පළාත් සභා ක්‍රමය යටතේ  පළාත් පාලනයට තමයි මේ බස් ගාල් අයිති වෙලා තියෙන්නේ. ඒත්, අයිති වෙන්න ඕනෙ ශ්‍රීලංගමයට. ඒත් ඒ අය අඩු ගාණනකට බස්නැවතුම්පොළ බද්දට දෙනවා. මැතිවරණ රැස්වීමක් පවත්වන දවසට කලින් දවස් දෙකක් සහ අවසන් වුණාට පස්සේ දවස් දෙකක් ඕනැ. ඒ අනුව දවස් හතරක්, පහක් වගේ දින ගණනක් මේ කටයුත්තට අවශ්‍ය වෙනවා. තිබෙන සියලුම දේශපාලන පක්ෂවලට මේ ස්ථානය ගත්තාම කොපමණ දින ගණනක් අවශ්‍ය වෙනවාද කියලා හිතන්න වෙනවා.

බස්නැවතුම්පොළේ වේදිකාව ගැහුවාම, අපේ බස් ගහන්න ඕනෙ කුරුණෑගල පාරෙ. එතකොට මිනිස්සුන්ට බස් තියෙන්නේ කොහේද කියලා හොයා ගන්න බෑ. එදා හොඳටම වැසි දවසක්. පාසල් ඇරිලා ආව ළමයි, ඒ වගේම පන්ති ඇරුණු ළමයි බස්නැවතුම්පොළේ තිබුණු දේශපාලන රැස්වීමක් නිසා සීසීකඩ යන හැටි එදා මං දැක්කා. සමහර තැන්වල ඉඳන් ළමයි අඬනවා. දරුවො තැන් තැන්වල අතරමංවෙලා. මේ තත්ත්වය තුළ කාර්යාල සේවකයන්ට බස් එක සොයා ගන්න බෑ. මගේ කාර්යමණ්ඩලයට වගේම පොලිසියටත් හරි අපහසුවක් වුණා. මේ නිසා පැහැදිලිවම හැමෝටම ලොකු අපහසුතාවක් ඇති වෙන්නේ. ඒ නිසා මං කාරුණිකව ඉල්ලන්නේ මෙවැනි පොදු රැස්වීම් සඳහා බස් නැවතුම් භාවිත කරන්නේ නැතිව, මින් පිටත තිබෙන තැනක් අරගෙන  මිනිස්සුන්ට හිරිහැරයක් නැතිව යන්න පුළුවන් විදියට මේ කටයුත්ත කරන්න කියන එක.

අනෙක දිනකට අපේ මාර්ග ලේඛන ආදායම ලක්ෂ පහලොවක්, දාසයක් වගේ වෙනවා. මේ විදියට දුන්නාම අපේ මාර්ග ලේඛන ආදායම ලක්ෂ දහයට එකොළහට බහිනවා. ඒ වගේ දිනවලට අපට ලක්ෂ හතරක පහක පාඩුවක් සිදු වෙනවා. මගීන් මේ බස් රථවල නැගලා යන්නේ නැතිව වෙනත් රථවල නැගලා යනවා. සමහර බස් නවත්වන්න තැනක් නැති නිසා බස් නැවගුම්පොළට යන්නේ නැතිව ඩිපෝවේම තබනවා. මේ නිසා ඩිපොවට සිදුවෙන්නේ විශාල පාඩුවක්. හැමෝම බුද්ධිමත්ව හිතලා, පොදු මහ ජනතාවට අයිති මෙවැනි ස්ථාන මේ වගේ දේ සඳහා භාවිත නොකරණ ලෙස ඉල්ලා සිටිනවා. ඉදිරියේදි හරි මෙවැනි සිදුවීම් නවතිනවා නම් ඉතාමත්ම හොඳ දෙයක්.”

බෝලේ පාස් කිරීම

අවසානයේ මේ සියලු චෝදනා එල්ල වුයේ  හලාවත නගර සභාවටය. මේ සම්බන්ධයෙන් හලාවත  නගර සභාව මුල් අවස්ථාවේ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ නමුත්, තොරතුරු දැනගැනීමේ පණත අනුව තොරතුරු විමසූ විට, ලිඛිතව  හා වාචිකව තොරතුරු ලබා දුනි. ඒ අනුව අනාවරණය වූයේ,  හලාවත  නගර සභාවේ කළමනාකරණ කමිටුව මඟින් දේශපාලන රැස්වීම සඳහා හලාවත බස් නැවතුම්පොළ කුලියට ලබා දීම අත්හිටවන ලෙස තීරණයක් ගෙන තිබියදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වන එස්.එල්.ආර්.ජයනායක ලිඛිතව ලබා දුන් නියෝගයකට  අනුව නැවත  හලාවත බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා ලබා දී ඇති බව ය. මෙහි දී හලාවත නගර සභාවේ ලේකම්වරිය වන සුරංගි මාරසිංහ  ප්‍රකාශ කළේ, තමන් මේ ගැටලු පිළිබඳ දැනුම්වත් බව ය. “ඇතිවෙලා තියෙන මේ ගැටලු අපට තේරෙනවා. පාසල් ළමයින් වගේම අනෙකුත් මහජනතාව  අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා, මේ ස්ථානය නැවත දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට අප තීරණය කළා. ඒත්, මැතිවරණ කොමිසම තීරණය කරලා, මේ ස්ථානය ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දුන්නාම, අපට කරන්න දෙයක් නැහැ.”       ඇය පවසන්නීය.

මේ සම්බන්ධයෙන් පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් වරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ,  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දේශපාලන පක්ෂයකට රැස්වීමක් පැවැත්වීම සඳහා මේ ස්ථානය ලබා දී ඇති බව හලාවත නගර සභාව ප්‍රකාශ කළ නිසා, සියලු පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට සමානව සැලකිය යුතු බැවින්, මේ ස්ථානය දේශපාලන රැස්වීම් පැවැත්වීම සඳහා තමන් ලිඛිතව  අවසර දුන් බව ය.

පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් වන එස්.එල්.ආර්.රත්නායක එසේ ප්‍රකාශ කළත්, හලාවත නගර සභාව ලබා දුන්  තොරතුරුවල ඇත්තේ නාම යෝජනා භාර දීමෙන් පසු  කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයකු  හෝ හලාවත පොදු බස් නැවතුම්පොළේ රැස්වීම් පවත්වා නොමැති බව ය.

 

මැතිවරණ කොමිසම නිවැරදිද ?

දේශපාලන රැස්වීම් පැවැත්වීමට බස් නැවතුම්පොළ වැනි පොදු ස්ථාන භාවිතය තහනම් කළ නොහැකි ද? ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ මෙබඳු අදහසකි.

“මැතිවරණ කාලසීමාවලදී මැතිවරණයට අදාළව ඒ ඒ දේශපාලන පක්ෂ රැස්වීම් පැවැත්වීම සඳහා සතිපොළ, බස් නැවතුම්පොළ වැනි  ජනතාව වැඩිපුර රැස්වන ස්ථාන භාවිත කරන බවක් පෙනෙන්න තිබෙනවා. සමහර අවස්ථාවල පාරක් වහලා සතිපොළක රැස්වීමක් පවත්වනවා; බස් නැවතුම්පොළවල බසයක් එනතුරු මිනිසුන් රැඳී සිටිද්දි රැස්වීමක් පවත්වනවා. මේ වගේ පොදු ස්ථාන භාවිතය නිසා මහජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ මඟින් සිදු වෙන්නේ සමාජයටම හානියක්. අප එය අවම කර ගත යුතුයි. මේ මඟින් සිදු වෙන්නේ මිනිසුන්ට බලහත්කාරයෙන් තම දේශපාලන මතය සමාජගත කිරීමක්. මේ තත්ත්වය අවම කිරීම සඳහා පක්ෂ ලේකම්වරු දැනුම්වත් කළ යුතුව තිබෙනවා.”

පසුගිය මැතිවරණ සමයේ නාත්තන්ඩිය බස් නැවතුම්පොළ දේශපාලන රැස්වීම් සඳහා ලබා දී තිබුණි. එහි පැවැති සරත් ෆොන්සේකා මැතිවරණ අපේක්ෂකයාගේ රැස්වීම සඳහා පැමිණ සිටියේ හතර පස්දෙනෙක් පමණකි. මෙලෙස පොදු දේපොළ අවභාවිතය නිසා එදින කොපමණ  පිරිසක් අපහසුතාවට පත් වන්න ඇතිද? අශ්වයා යන්න හැර ඉස්තාලය දැමීමක් නොකර, ඉදිරි ප්‍රාදේශීය සභා නිලවරණයට පෙර, වගකිවයුත්තන් විසින් මේ තත්ත්වය නිවාරණයට කඩිනම් පියවර ගත යුතු ය.   

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකින් පසු මානව හිමිකම් කොමිසම් විසින් දැන්ව ඒවා ඇත්තේ මේ කාරණය මැතිවරණ කොමිසන් සභා විෂයට ඇතුලත් කරුණක් බැවින් එම කොමිසන් සභාවට මේ කරණය පිලිබදව පැමිණිලි කරන ලෙසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *