පාසලේ දඬුවම් – කටුක ඇයි මෙතරම් – ඉරෝෂිණී දීපිකා

 

අකුරුකරනට තක්සලාවට පිවිසිය ද, කළ නොකළ වරදට ඇණුම් බැණුම්, තාඩන පීඩනවලට ලක්වන දරු පරපුර, දණ්ඩනවලින් කම්පිත වූ අවස්ථා මෙන්ම, ජීවිතයෙන් වන්දි ගෙවූ අයුරු ද කලින් කලට අපට අසන්න ලැබුණි. පාසලේ කටුක දඬුවම් අවම කරනු වස්, 2005 සහ 2016 වසරවලදී චක්‍රලේඛ ගෙන ආව ද, මේ සාම්ප්‍රදායික දඬුවමට තිත තැබීමට තවමත් හැකිව නැත. මේ ලිපිය, පාසලේ දඬුවම් තුරන් කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස ඇදුරු වගවීම පිළිබඳ  සිහි කැඳවීම සහ දණ්ඩනය ගෙන එන කුරිරු බලපෑම පිළිබඳ දෙගුරු සිත් දැනුම්වත් කිරීම උදෙසා ය.

———————————————————————————————————————

“අනේ හාමුදුරුවනේ‍… මගෙ අම්මාපල්ලා, මං රුපියල් තුන්සීයක් හොරකම් කළේ නෑ.”

පිට පිට වේවැල් පහර කෑමට ලක්වූ දහතුන් හැවිරිදි සිසුවා, පන්තිභාර ගුරු හිමි පාමුල වැඳ වැටෙමින්, තමා නොකළ වරදට දඬුවම් නොකරන ලෙස ඉල්ලා හඬා වැලපුණේ ය.

“තොගෙ අම්මා මට උන්නත් එකයි ගියත් එකයි” තමා වරද නොකළ බවට දිවුරමින් හඬා වැටුණු සිසුවාට, විදුහල්පති හිමි නමගේ තඩි වේවැල ගෙනවිත් නැවතත් පහරක් එල්ල කිරීමට මේ බුද්ධ පුත්‍රයා පමා වූයේ නැත.

මේ අපේ රටේ ශිෂ්‍ය පරපුරේ  දරුවකු මෑත කාලයේදී මුහුණ දුන් සිදුවීමක් පමණි.

“බුද්ධ ධර්මයට ලකුණු හැත්තෑවට අඩු ළමයි නැඟිට්ටවලා, ආගම උගන්වන සර් එස්ලෝන් බටයකින් ගහලා. දණගස්සවනවා, කන මිරිකනවා, කම්මුළට ගහනවා, වේවැලෙන්, කෝටුවලින් විතරක් නොවෙයි, කොසු මිටෙනුත් ගහනවා. පාසලක් හොයා ගන්න අමාරු නිසා, දරුවො, මවුපියො දුක් විඳගෙන ඉන්නවා.” මේ තවත් මවකගේ හැඟුම්බර ප්‍රතිචාරයකි.

“පන්තිකවවලට ගියාම තමන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න කියනවා. දරුවට බලපාන ප්‍රශ්නයක් විතරක් නොවෙයි, පොදු ප්‍රශ්නයක් ගැන කතා කළත්, කතා කරපු මවුපියන්ගෙ දරුවන්ගෙන් එදා ඉඳන් ම පළි ගන්නවා.” ඒ, පන්තිකව අත්දැකීම් ඇති පියෙකුගේ අදහසකි.

“අකුරු කැතයි කියලා දරුවට කම්මුල් පාර දහ අටකට වැඩිය ගහලා, මුල ඉඳලා කරපු සිංහල පාඩම් අටක් දවස් දෙකක් ඇතුළත ලියාගෙන එන්න දීලා. අනෙක් ගුරුවරු දෙන ගෙදර වැඩත් එක්ක මේ පාඩම් නැවත ලියන්න බෑ කියලා දරුවා ඇඬුවා. මේ මානසික පීඩනයට සහනයක් හොයාගෙන රෝහලේ යොවුන් මිතුරු සායනයට එක්කගෙන ගියා. මනෝ උපදේශන ප්‍රතිකාර කළා. මේ ගුරු හිමිනම කර තිබෙන්නේ හිතාමතා අපයෝජනය කිරීමක් බව මනෝ උපදේශකවරයා කිවුවා.” මේ තවත් හිමි නමකගේ දඬුවමක ප්‍රතිඵල පිළිබඳ, දරුවාගේ මව පැවසූ අදහස්ය.

“රුපියල් විස්සක් ණයට දුන්නෙ නෑ කියලා පන්තියෙ දොර මුල්ලට දාලා එකම පන්තියේ ළමයි තුන්දෙනෙක් පුතාට ගහලා. අවුරුදු තුනක ඉඳන් මේ ළමයි කරදර කළ නිසා, පාසල් යන්න බෑ කියලා දරුවා අඬනවා. මෙය සදාකාලික ප්‍රශ්නයක් නොවී, දරුවන් හතර දෙනා සමඟ කතා කරලා ඔවුන් හොඳ යාළුවො කර දෙන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒය මවුපියන් ගෙන්වා විසඳීමේ අවශ්‍යතාවක් තිබුණෙ නෑ. මාසයකට පස්සේ හතරදෙනාගෙම මවුපියො ගෙන්වලා, දරුවවත්, මාවත් ඒ පිරිස ඉස්සරහා අපහසුතාවට පත් කළා. චෝදනාවට ලක්වූ ළමයින්ට වාසිසහගත විදියට ඔහු කතා කළ නිසා, ඒ ළමයි දරුවට හිරිහැර කරන එක වැඩි වුණා. දරුවා පාසල් යන්න බෑ කියූ නිසා, වෙනත් පන්තියකට මාරු කළා.” මේ මවුපිය චෝදනාය.

පාසලට දඬුවම් අවැසි නැති බවත්, වධකාගාරවල මෙන් දඬුවම් කිරීම යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේදයක් බවත් මේ වන විට ඔප්පු වී හමාරය. දරුවන් මට්ටු කිරීමට දඬුවම් නොකරන ලෙස දන්වමින් 2005 වසරේදී සහ 2016 වසරවල ගුරුවරුන්ට චක්‍රලේඛ නිකුත් කර තිබුණ ද ඉන් පලක් වී නැති බව ඉහත සිදුවීම් සාක්ෂ්‍ය දරයි.

1989 නොවැම්බර් මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලද ළමා අයිතිවාසිකම් සුරුකීමට අප රට ද එක්ව ඇත. එහි 28 වැනි ව්‍යවස්ථාවේ 2 වගන්තිය අනුව, “පාසල් විනය, පරිපාලනය ළමයාගේ මානව ගරුත්වයට අනුකූල වන ආකාරයටත්, වර්තමාන ප්‍රඥප්තියට අනුකූලවත් සිදු කෙරෙන බවට වග බලා ගැනීම සඳහා සුදුසු සියලු පියවර පාර්ශ්වකරුවන් වන රාජ්‍යයන් විසින් ගනු ලැබිය යුතු ය.” යනුවෙන් දක්වා ඇත.

විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය අනුව, දරුවාට තම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් මානව හිමිකම් භුක්ති විඳීමට නිදහස් අයිතියක් ඇත. එසේම, 1939 වසරේ සිට, මෙරට ළමයින් සඳහා යුක්තිය පසිඳලීමේදී භාවිත කළ ‘ළමයින් සහ තරුණ තැනැත්තන් පනත’ මේ වන විට යාවත්කාලීන වී තිබේ. මේ සියලු දේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 308 ඒ වගන්තිය ප්‍රකාරව, දරුවෙකුට එරෙහි කෲරත්වය වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස භාවිත කෙර්.

පාසලට දඬුවම කිසිසේත්ම අවැසි නැතැයි යන සෘජු ප්‍රතිපත්තියක තම සංගමය සිටින බව, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලිං පවසයි.

“පාසල් දරුවන්ට කිසිසේත්ම ශාරීරික සහ මානසික දඬුවම් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛ දෙකේම දැක්වෙනවා. දඬුවම් දෙන්න බෑ කියලා තියෙද්දි ගුරුවරු දඬුවම් කරනවා නම්, ඒක බරපතළ ප්‍රශ්නයක්. එ නිසා මේ චක්‍රලේඛ පිළිබඳ ආණ්ඩුව නැවත ගුරුවරු දැනුවත් කරන්න ඕනෑ. 2016 චක්‍රලේඛය ගුරුවරුන්ට හරියට යවලා නෑ. මේ චක්‍රලේඛය ගැහුවෙ,  2016 ජීඑස්පී ප්ලස් ගැනීමේ කොන්දේසියක චක්‍රලේඛයක් විදියටයි. ඒකෙ පිටපතක් විදේශ කටයුතු අමාත්‍යාංශයට යවා තියෙනවා. කෙසේ වෙතත්, අමාත්‍යාංශය නිකුත් කරන සෑම චක්‍රලේඛයක්ම රාජයේ, පෞද්ගලික, ආධාර ලබන සහ පිරිවෙන් යන සෑම පාසලකම ගුරුවරුන්ට අදාළයි.

එවක සිටි ජනාධිපතිවරයා කිවුවෙත් තමන් හොඳට ගුටි කාලා හැදුණා කියලයි. ජනාපතිවරුන්ට තියෙන්නෙත් ගුටි කාලා හැදෙන්න ඕනැ කියන අදහසයි. ලෝකෙ වෙනස් වෙලා, අයිතිවාසිකම් වැඩි වෙලා. ළමා අයිතිවාසිකම්, ඔවුන්ටම ආවේණික දේ තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමක් අවශ්‍යයි වගේම, පාසල් පද්ධතිය තුළ උපදේශන සේවාව ශක්තිමත් විය යුතුයි. පාසල්වල උපදේශනයට යොමු කරන්නෙ කාලසටහන්වල කාලච්ඡේද වෙන්ව නැති ගුරුවරු. මේක ශක්තිමත් වෘත්තීමය කාර්යයක්. ඒ නිසා ඒකට නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි.

අප, සංගමයක් විදියට ශාරීරික දඬුවම් පිළි ගන්නෙ නෑ. දරුවන්ට දඬුවම් නොකරන සංස්කෘතියක් අප හදන්න ඕනැ.  දරුවො පාලනයේ නව ක්‍රමවේද මොනවද? ඒ පිළිබඳ දැනුම්වත් කර ශක්තිමත්ව මේ ගමන යා යුතුයි. දඬුවම් කිරීම නිසා කුරුණෑගල, නුවරඑළිය, වෙන්නප්පුව වගේ ප්‍රදේශවල විදුහල්පතිවරු, ගුරුවරු දඬුවම් ලැබූ හැටි අප දැක්කා. ඒ නිසා, මේ සම්බන්ධයෙන් පක්ෂග්‍රාහී නොවී අධ්‍යාපන අමාත්‍යාංශය තීරණ ගත යුතුයි.

දරුවො නිසයි ගුරු වෘත්තිය රැඳිලා තියෙන්නේ. සංගමයක් විදියට ගුරුවරු දැනුම්වත් කිරීම වෙනුවෙන් අප දැඩිව පෙනී සිටිනවා. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බව කවුරුත් දන්නවා. ඒ නිසා පත්වීමක් ලබා ගත්තාම, ඒ පිළිබඳ ගුරුවරයෙක් දැනුම්වත් වීම අවශ්‍යයි. වැඩිමනත් දේ අධ්‍යාපන බලධාරීන් විසින් වැඩමුළු පවත්වා දැනුම්වත් කළ යුතුයි. පාසල් දඬුවම් දැන් ඉතාම අවම තතත්ත්වයක තියෙන්නේ. ඒකත් බින්දුවට ගේන්න ඕනෑ කියන තැන අප සිටින්නේ.

වෙනදට වඩා මේ වගේ සිදුවීමක් වුණාම මවුපියො සක්‍රීය වන, පොලිසියට පැමිණිලි කරන අවස්ථා දැන් වැඩියි. දරුවෙක්ට හිංසනයක් වුණාම කටයුතු කළ යුත්තේ කෙසේද? කියා මව්පියන් දැනුම්වත් කළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශය එවූ පාසල් දඬුවම් නැවැත්වීම පිළිබඳ චක්‍රලේඛ ගැන විදුහල්පතිවරු, ගුරුවරුන් දැනුම්වත් කර නැද්ද? පාසලෙන් දඬුවම තුරන් කළ නොහැකි ද?  මතුගම ශාන්ත මේරීස් විද්‍යාලයේ විදුහල්පතිනී චන්දිමා ප්‍රියදර්ශනී දක්වන්නේ මෙවැනි අදහසකි.

“සුහුරු ජංගම දුරථනය අතේ තිබෙන මේ වගේ යුගයක, 17/2005 සහ 12/2016 ‘පාසල තුළ විනය ආරක්ෂා කිරීම’ චක්‍රලේඛ ගැන ගුරුවරු දැනුම්වත් නෑ කියලා කියන්න බෑ. පාසලක ඡායා පිටපත් යන්ත්‍රයක්වත් නොතිබූ කාලේ නම් පාසලට ලැබෙන රෝනියෝ කළ චක්‍රලේඛය හැමෝටම කියවන්න නොලැබෙන්න ඇති. දැන් තත්ත්වය වෙනස්. විදුහල්පතිට ලැබෙන්නේ pdf විතරයි. ඒවා සියලු අධ්‍යාපන වෘත්තිකයන්ගේ වට්ස්ඇප් සමූහවල නිල හෝ සංගම් මට්ටමින් සංසරණය වෙනවා. අනෙක දැන් සියලු චක්‍රලේඛ අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළත් වන නිසා, ප්‍රවේශ පහසුව සියලු දෙනාට තියෙනවා.

දරුවන්ට කායික දඬුවම් දීම අතීතයෙන් එන උරුමයක් නිසා එකපාරට නවතින්නේ නෑ. ගුටි කාපු, ගහනවා දැකපු අය දැන් ගුරුවරු වෙලා ඉන්නේ. යන්තම් පොඩ්ඩක් ඉගෙනගත්තු මනෝ විද්‍යාවට වඩා වේගයෙන්, වරදක් කළාම ගහලා හදන්න ඔළුවට දීපු සංස්කෘතික මතය ඉස්සරහට පනිනවා. එතැනදි, හරි දඬුවම දෙන්න හොඳම විධිය, ‘මේ වරදම වැඩිහිටියෙක් කළාම එයාටත් ගහනවද?’ කියලා හිතන එකයි. ළමයා කුඩා හෝ දුර්වල නිසා නම් අප ගහන්නෙ, ඒක ගුරුවරුන්ගේ ලොකු දුර්වලකමක්.

 

අවවාදය හැම ළමයම තේරුම් ගන්නේ නෑ. ළමයාගේ වැරැදි හදන්න නීති හා ඒවා කඩ වූ විට විනය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. රටේ නීති රකින පරපුරක් බිහි වෙන්නේ එවිටයි. එහෙම නැතිව තමන්ගේ ටියුෂන් පන්ති නොඑන, තමන්ට තෑගි බෝග නොදෙන, තමන්ගේ හෝ හිතවතුන්ගේ හෝ දරුවන් අභිබවා යන නිසා දඬුවම් කරනවා නම්, ඒක ඉතාම වැරැදියි.

පාසලේදී දරුවන් කායික, මානසික, ලිංගික හිංසනවලට ලක්වු අවස්ථා මාධ්‍යයෙන් අප දැක තිබෙනවා. ඒවා හුදෙක් සිදුවීම් බවට පත් නොවන්න නම්, විසඳීම සඳහා කෙටි කාලයක් නියම විය යුතුයි. බොහෝ සිදුවීම් අවුරුදු ගණනක් යනවිට වෙනස් මතවලට යොමු වෙනවා.

තමන්ගේ දරුවාට තියෙන ප්‍රශ්නය ගැන අදාළ ගුරුවරයා සමග ඝෘජුව කතා කිරීමට පෞරුෂයක් මාපියන්ට තිබිය යුතුයි. සාක්ෂ්‍ය නැතිව නිර්නාමිකව බලධාරීන්ට කිවුවට ඒවාට ක්‍රියාමාර්ග ගන්න බෑ. ගුරුවරයා තමන්ගේ දරුවාට පසුව අසාධාරණයක් කරයි කියන වැරැදි මතය බරපතළ විදියට සමාජගත වෙලා. එහෙම කරන්න බැහැ. එහෙම කළොත් ඒ සඳහා ගතහැකි පියවර තිබෙනවා.”

දඬුවම පාසලෙන් තුරන් කළ යුතු බව අත්දැකීමෙන්ම දන්නා, ඒ වෙනුවෙන් නිරතුරු හඬ නඟන, ‘හිංසනයට තිත පදනම’ සභාපතිනී, ‘ළමා ආරක්ෂණ සංධානය’ සම කැඳවුම්කරු, වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය මතය ප්‍රකාශ කළේ මෙලෙසිනි.

“අවුරුදු 11ක් වයස මගේම දරුවාට, මෙරට ජාත්‍යන්තර පාසලකදී දණ්ඩනයට ලක් වීමෙන්, එයට එරෙහිව කටයුතු කිරීමේදී ඇතිවූ දුෂ්කරතා හේතුවෙන්, ‘හිංසනයට තිත පදනම’ බිහි වුණා.

වෙනත් රටවල ළමා ආරක්ෂාව ජාතික ආරක්ෂාවේ හදවත. අපේ රටෙත් මේ ආරක්ෂාව සැලසීම බොහොම පහසුයි. ඒ සඳහා රාජ්‍ය නායකයාගේ පෙළගැස්ම අවශ්‍යයි. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ  ව්‍යාපාරයේදී මෙය ඉටු කරන බවට අපට පොරොන්දු වුණා. දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී, ළමා ආරක්ෂණ සංවිධානය ලෙස අප, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වූ සාරාංශගත යෝජනාව – නව යුගයක උදාවක් ලෙස කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට භාර දුන්නා. එය ඉදිරිපත් කළේ අපේ රටේ පුරවැසියන්ගෙන් සියයට විසි පහක් වන දරුවන්ගේ යහපත උදෙසායි. ඒ සඳහා රාජ්‍ය නායකයා ක්‍රියා කරයි කියා අප බලාපොරොත්තු වෙනවා.

2024 අප්‍රේල් 29 වැනිදා, ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. 2024 නොවැම්බර් 07, 08 දිනවල බොගෝටාහි පැවැති දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ පළමු ගෝලීය අමාත්‍ය සමුළුවේදී, 2025 මැද භාගය වන විට එම පනත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිඥා දුන්නා. අපේ රටේ දරුවන්ට තුවාල නොවුණු පලදායී අනාගතයක් ඇති කරන්න, මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි.”

පාසල් දිවිය යනු සොඳුරු අත්දැකීම් කැටි වූ, දිවිය පුරාම සිහි කළ හැකි අනගි සැමරුම් සහිත අමුතුම මතක ලෝකයකි. එය එසේ වන්නේ දඬුවමේ වේදනා විඳ නැති දරුවන්ටය. මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාලයන් ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.

“ ඉස්කොලා’ කියන ඉතාලි පදයෙන් බිඳී ආ ‘පාසල’, ‘දරුවන් සතුටින් සිටින තැන’ යන අරුත සපයනවා. ළමයින්ගේ පෞරුෂය ශක්තිමත් වෙන්නෙ පාසලකින්. පුද්ගල පෞරුෂය ගොඩනැඟීමේ ප්‍රධාන භූමිකාව හිමි වෙන්නේ ගුරුවරයාටයි. දරුවන්ට ඉතාම සතුටින් දවස ගත කිරීමට සුදුසු පරිසරයක් සැකසීමේ වගකීම වගේම වගවීම, විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන්ට තිබෙනවා.

ගුරුවරයා කියන්නේ අඳුර පළවා හරින්නෙක්. එනිසා ගුරුවරයා නිතරම දරුවාගේ ඇතුළෙ තිබෙන දක්ෂතා මතු කරලා, ඔහුගේ ජීවිතය ආලෝකවත් කළ යුතුයි. දඬුවම් කිරීම, හිංසා කිරීම ගුරුවරයාට අයිති නෑ. ඔහු පත් කර තිබෙන්නේ ඒ කාර්යයට නොවෙයි. ඔහුට දරුවන් පාලනය කරන්න බැරි නම්, හොඳම දේ වෘත්තීය මාරු කිරීමයි. දරුවන්ගේ පෞරුෂය බිඳ දැමීමට ඔහුට අයිතියක් නෑ. දඬුවම් කිරීමෙන් ඔහු විශාල විනාශයක්, ජාතික අපරාධයක් කරනවා. ඔහුගේ ක්‍රියා නිසා, දරුවෙක් සමාජ විරෝධී වුණොත් එය සමාජයටම බලපානවා.

තමන් හදන දරුවා හොඳම දරුවෙක් බවට පත් කිරීමට ගුරුවරයාට පෞද්ගලිකවම වගවීමක් තිබෙනවා. හොඳම දරුවා කියන්නේ ලකුණු රැසක් ගන්නා දරුවා නොවේ. තමන්ගේ හැම අංශයක්ම විකසිත කර ගන්නා දරුවටයි. අධ්‍යාපනය කියන්නේ විභාග සමත්වීම පමණක් නොවෙයි. ලකුණු ගත්තට සමහරුන්ට ආවේග පාලනය, තමන් හසුරුවා ගැනීම, ස්වයං විනයක් ඇති කර ගන්න බෑ. එවිට ඔවුන් සමාජයට හානිකර පෞරුෂයක් බවට පත් වෙනවා.

ළමා වියේ පීඩාකාරී අත්දැකීම් ලැබුවාම, පසුකාලීනව සමාජ විරෝධීන්, හිංසාකාරීන් වීම, අධ්‍යාපනය පසුබැසීම, තම පෞරුෂය දියුණු කර නොගැනීම සිදු වෙනවා. අතින් හෝ පොල්ලකින් හෝ වේවැලෙන් හෝ ගැසීම, අතින් ඇදීම, කණ මිරිකීම, කායික අපයෝජනයට ලක් කිරීමක්. මෝඩයා, බූරුවා, ඉගෙන ගන්න බැරි ළමයා, දුර්වල ළමයා ලෙස කියා මානසිකව වැට්ටවීමෙන් චිත්තවේගීව වන අපයෝජනය නිසා, අපට බාහිරින් නොපෙනුණාට, ඇතුළින් දරුවාට විශාල හානියක් වෙනවා. යාළුවො කොන් කිරීම, දඬුවම් කිරීම, ගහගැනීම නිසා වන සමාජ අපයෝජනය සහ ලිංගික අපයෝජනය වැනි ආකාර නවයකින් දරුවන් අපයෝජනය වන බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. මෙයින් දෙකක් හෝ තුනක් තිබෙන විට, ළමයින්ගේ අධ්‍යාපන හැකියාව සෑහෙන්න පහළ බහිනවා. හතරකට වැඩි නම් විශාල වශයෙන් ඉගෙනීමේ හැකියාව අඩුවෙලා නොසන්සුන් බවට පත් වෙනවා. මේ අය ඉක්මනින් පාසල හැර යන්න පුළුවන්. ඒ නිසා, පාසලෙන් දඬුවම තුරන් කිරීම අත්‍යවශ්‍යමයි.”

පාසලේ දඬුවම සිරුරට මෙන්ම මනසට ද වේදනාවකි. ඒ වේදනාවේ තරම කොපමණදැයි මැනුමට මිනුම් දඬු නොමැත. මේ පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, උපදේශන විශේෂඥ, සුනිල් සෝලංආරච්චි සිය හඬ අවදි කළේ මෙලෙසිනි.

“පාසලේදී දරුවන්ට ශාරීරික, මානසික, ලිංගික සහ නොසලකාහැරීම යන සිව් ආකාරයෙන්ම අසාධාරණකම් වෙනවා. ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලීමේදී අප සිටින්නේ ඉතාම ප්‍රාථමික මට්ටමක. පාසලේදී ගුරුවරු, සම වයස් දරුවන්, කළමනාකරණ අංශය, සමාජයෙන් මූලිකවම දරුවන්ට ගැටලු ඇති වෙනවා. ඉගෙනුමට අදාළව සහ ඊට අදාළ නොවන ආකාරවලින් ගැටලු එන ආකාරය විවිධයි. එම ගැටලු එක එක දරුවාට ග්‍රහණය වන ප්‍රමාණය වෙනස්. දරුවෙක්ට විඳින්න වන සිද්ධි ලොකු ගැටලු වුණාට, ඒක දරුවෙකුට ලොකුවට මානසිකව බලපාන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් සමහර දරුවන්ට ඇති වන සිද්ධි මානසිකව දරුණුවට බලපානවා. සමහරවිට පොඩි වචනයක් වුණත් සමහර දරුවන්ට චිත්තවේගීය, මනෝසමාජීය වශයෙන් බලපානවා.

පාසලේ වැදගත්ම කෙනා දරුවා නිසා, ඔවුන් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු දෙස බැලිය යුත්තේ ළමයාගේ දෘෂ්ටිකෝණයෙන් මිස, වැඩිහිටියන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොවෙයි. ඒත් බොහෝ අවස්ථාවල වෙන්නේ, පාසල් සංස්කෘතිය ගුරුවරුන්ගේ දෙයක් බවට පත්වෙලා, ළමයට ඉවරයක් නැතිවම අසාධාරණකම් වීමයි. අපේ වගේ රටක ළමයට දෙන දඬුවම්, සිදුවන අසාධාරණකම් පිළිබඳ ගුරුවරු සමඟ කෙළින් කතා කරන්න මවුපියෝ බයයි. ඒකට හේතුව පොදු ප්‍රශ්නයක් කතා කළත්, තමන්ගෙ දරුවට ලොකු හානියක් වන බව දන්නා නිසයි. ඒ නිසා බොහෝ ප්‍රශ්න කියා ගන්න බැරිව මවුපියො, දරුවො ගොළුවෙලා.

තමන්ට  ඇති ප්‍රශ්න විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම්දීලා, ඉන් නිසි විසඳුමක් නැත් නම්, කලාප අධ්‍යාපන  කාර්යාලය දැනුම්වත් කළ යුතුයි. එයිනුත් පිහිටක් නැත් නම්, පොලීසිය මඟින්, නීතිය අනුව කටයුතු කළ යුතුයි.

පාසලේදී ළමයකුට කුමන විදියකින්වත් ගැටලු ඇති වෙන්න බැහැ. මානසිකව  වැටෙන්න බැහැ. පාසලේ දඬුවම් නිසා දරුවකු චිත්තවේගීය ගැටලු,බිය වීම වගේම, මු ළු ජීවිත කාලයටම සමහරවිට බලපාන ගැටලු ඇති විය හැකියි. ළමයින්ට කුමන විදියකින්වත් මානසික පීඩා ඇති නොවිය යුතුයි. මේ පීඩා, දීර්ඝකාලීනව දරුවාගේ විභාග ප්‍රතිඵලවලට බලපෑ හැකියි. ඒ නිසා, තමන්ගෙ දරුවට පාසලේදී ශාරීරික, මානසික ආදී කුමන අයුරකින් හෝ ගැටලු ඇති වේ නම්, ඊට එරෙහි වීමට මවුපියන් ලෙස ඔබට අයිතියක් තිබෙනවා. ඒ වගේම දරුවන් අත්දැකීම් නැති, දඬුවමට මුහුණ දීමට තරම් පරිණත නැති පිරිසක් නිසා, ඒ අයට පාසලේ දඬුවම මනසට දැඩිව බලපා ඇති බව වැටහේ නම්, මනෝ වෛද්‍යවරයකු වෙත හෝ මනෝ උපදේශනය වෙත යොමු වීම හෝ අවශ්‍යයි. මේ යොමුවීම වෙනත් රටවල වගේ ම, අපේ රටේ නාගරික ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ඒත් තවමත් සමහර ගුරුවරු වගේම ග්‍රාමීය ජනතාව හිතන්නේ මනෝ උපදේශනයට යොමු වෙන්නේ උමතුව නිසා කියලයි. මේ දැනුම්වත් වීමත් අප සමාජයට අත්‍යවශ්‍යයි.”

ගුරුවරු, දඬුවම පිළිබඳ චක්‍රලේඛ ගැන නොදැනුවත්ද? අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කළුවැවගේ අදහසයි මේ.

“රජයේ නිලධාරීන් වුණාම චක්‍රලේඛ ගැන දැනුම්වත් වෙන්න ඕනෑ. කිසිම රාජ්‍ය නිලධාරියෙක්ට චක්‍රලේඛයක් ගැන දැනුම්වත් නෑ කියන්න බෑ. ‘නීතිය නොදැන සිටීම නීතියෙන් ගැලවීමට හේතුවක් නොවේ’ කියා සිද්ධාන්තයක් තියෙනවා. අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කළාම, දැනගත්තා හෝ දැන නොගත්තා හෝ ඒ නිලධාරිය ඒ චක්‍රලේඛයට බැඳෙනවා. ඒ නිසා, ගුරුවරු චක්‍රලේඛය ගැන දන්නෙ නෑ කියන කතාව පිළි ගන්න බැහැ. පාසලේ දඬුවම් පිළිබඳ විශාල මහජන මතයක්, මාධ්‍ය මතයක් තියෙනවා. ඒ් නිසා ඒ පිළිබඳ ගුරුවරු දැනුම්වත් වෙන්න ඕනැ.

පාසල් ගුරුවරුන්ගේ දඬුවම අප අඳුන ගන්නේ, ක්ෂණිකව ඇතිවන තත්ත්ව, සිද්ධි විදියටයි. ඒ නිසා ඒ ගැන ඔවුන් දැනුම්වත් කරන එක හොඳයි. ඒකට දැනට තිබෙන නීති රාමුවත් ප්‍රමාණවත්. අපි සෑම ගුරු පුහුණුවකදීම මේ ගැන කතා කරනවා. දඬුවම් කරලා අමාරුවෙ වැටෙන අය ගැන අහන දකින නිසා, ඔවුන්ට දැනුම්වත් වෙන්න ඒකම ඇති. චක්‍රලේඛවලට උඩින් අපට රටේ නීතියක් තියෙනවා. හැමෝම ඒ ගැන දැනුම්වත් වෙන්න ඕනෑ. ඔවුන්ට මේ ගැන දැනුම්වත් වෙන්න විශේෂයෙන්ම වැඩසටහන් ලෑස්ති කරන්න ඕනෑ කියනවා නම්, අපට කරන්න බැරිකමක් නෑ. ඉල්ලීම් අවශ්‍යයත් නෑ, එසේ කළයුතු යැයි නිරීක්ෂණය වුණොත්, ඒවැනි වැඩසටහන් කරන්න පුළුවන්.”

17/2005 චක්‍රලේඛයේ, “ශාරීරික දඬුවම් දීමෙන් තොරව විනය පවත්වාගෙන යා නොහැකි නම්, ඒ මඟින් පිළිබිඹු කරන්නේ ගුරුවරයාගේ අදක්ෂභාවය බව පැහැදිලි වේ.” ලෙස සඳහන් වේ. ඒ් පිළිබඳ ගුරුභවතුන්ගේ අවධානය යොමු විය යුතුය.

බුද්ධ ධර්මය පොතේ ඇති ‘ගැටලු විසඳමු දැහැමි විලසින්’ පාඩම උගන්වන ගුරුවරයා ද, අනෙක් දරුවන්ට උසුළු විසුළු කර, ගැටලු ඇති කරමින්, ඔවුන් අඛණ්ඩව හිංසනයට යොමු කරන එම පාඩම උගත් දරුවා ද, පාඩමවත්, ධර්මයවත් හොඳින් නොදන්නා බව සක් සුදක් සේ ම පැහැදිලිය. නිති නෙත ගැටෙන පාඩම ප්‍රායෝගික නැති විට, චක්‍රලේඛ, නීතිය, වගකීම මෙන්ම, ඉන් ඔබ්බට දිවෙන වගවීම අමතක වීම ගැන කවර කතාද?

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *