රටේ සහ මහජන සුබ සිද්ධියකට කටයුතු කරන ව්‍යවස්ථාදායකයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන බව නව කථානායක මහනුවරදී කියයි. – නදීක දයා බණ්ඩාර

රටේ දියුණුව හා මහජන සුබ සිද්ධිය උදෙස ව්‍යවස්ථාදායකය මෙහෙයවන බව නව කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

ඒ වෙනුවෙන් තමන් ඇතුලු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ඇප කැප වන බව ද නව කථානායකවරයා තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ නව ධූරයට පත්වීමෙන් අනතුරුව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

නව කථානායකවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැද පුදා ගැනීම සිදුවිය. දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කථානායකවරයා පිළිගන්නා ලදි.

දළදා වහන්සේ වන්දනා කිරීමෙන් පසු ඒ මහතා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි බැහැ දැක සාකච්ඡාවක නිරතවූහ.

පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා, හරවත් මෙන්ම සාරවත් පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීම මේ වන විට සිදුවෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.

අර්ථවත්වූ වාද විවාද වලට පාර්ලිමේන්තුව විවෘත කොට මහජනයාට වඩාත් උසස් හා ගුණාත්මක සේවයක් ලබාදීමට පියවර ගන්නා බවත් කථානායක වශයෙන් අර්ථවත් විවාද වලින් යුතු මණ්ඩපයක් ඉදිරිපත් කිරීම සිය අපේක්ෂාව බව ද වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තව දුරටත් සඳහන් කළේය.

මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු ඒ මහතා කටුකැලේ සෙල්වවිනයාගාර් හින්දු කෝවිලේ ආගමික වතාවක් වලට සහභාගීවූ අතර එහි සභාපති ගෝවින්ද සාමී ක්‍රිෂ්ණ මූර්ති මහතාගේ මඟපෙන්වීම මත එහි ආගමික වැඩසටහන් ක්‍රියාත්මක විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *