ශ්‍රී ලංකාවේ අභීවෘද්ධිය උදෙසා ඕනෑම රටක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් යැයි ජනපති මහනුවර දී කියයි. = නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඕනෑම රටක් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්දියාව සමඟ කළ සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවත් ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු විදේශ කටයුතු අමාත්‍යවරයා මහජනය හමුවේ විවෘතව ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා කීවේය.
ඉන්දීය සංචාරයෙන් අනතුරුව මහනුවරට පැමිණි ජනපති අනුර කුමාර දිසානයක මහතා අද (20) පස්වරුවේ මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි බැහැ දැක ආශිර්වාද ලබා උන් වහන්සේ සමඟ සාකච්ඡාවක නිරතවූහ.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ද ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය බැහැ දැක සාකච්ඡාවක නිරතවූහ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයේදී කිසිවෙක් ප්‍රතික්ෂේප කළ සංවර්ධන මාවතක් නොමැති බව කී ජනාධිපතිවරයා රටේ සංවර්ධනය පළාත් හා ප්‍රාදේශීය මට්ටමට රැගෙන යාම සඳහා පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ද පැවැත්විය යුතුව ඇතැයි කීවේය.
පලාත් පාලන ඡන්දය සඳහා පෙර නාම යෝජනා කැදවූ නමුත් එම පක්ෂ සන්ධාන විසිරී ගොස් ඇති බැවින් යළි නාම යෝජනා කැඳවීම සඳහා නව නාම යෝජනා කැඳවීමේ පනතක් සකස් කොට ඇතැයි ද කීවේය. ඒ අනුව නාම යෝජනා කැඳවීමෙන් පසු ලබන වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා කීවේය.
පළාත් සභා ඡන්දය ගැටලු ගණනාවකින් සමන්විත වන බැවින් ගැටලු නිරාකරණය කොට ලබන වර්ෂය තුළ එම මැතිවරණය පවත්වන බව ද ඒ මහතා පැවසුවේය.
ආධාර සහනාධාර වලින් පමණක් රට ගොඩ ගැනීම කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් ඉතාමත් ශක්තිමත් සංවර්ධන ආර්ථීක උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතු යැයි ද පෙන්වා දුන්නේය.
ජනාතව ආරක්ෂා කොට රැක බලා ගනිමින් හා සංවර්ධනය සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර ගැනිම යන අවශ්‍යතා දෙක සමබර කර ගනිමින් රට පවත්වාගෙන යන බවත් ජනතාවට සහන ලබා දෙන අය වැය මාර්තු මස 21 සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තව දුරටත් සඳහන් කළේය.
ප්‍රවාහහ හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුලු මහජන නියෝජිත පිරිසක් ද මෙ අවස්ථාවට එක්වූහ.