පසු අස්වනු හානිය වැළැක්වීම සඳහා නවීණ තාක්ෂණයෙන් නිපදවූ ආහාර වර්ග 21ක් එළිදැක්වීම අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී. – නදීක දයා බණ්ඩාර

 

 

නවීණ තාක්ෂණය උපයෝගී කොට අතිරික්කත ආහාර යොදා ගනිමින් නිපදවන ලද නව ආහාර වර්ග 21ක් වෙළඳ පොළ සඳහා එළිදැක්විම  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී අද (12) පෙරවරුවේ සිදුවිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ ඒකකය එහි ආහාර පර්යේෂණ ඒකකයේ මෙහෙයවීම මත නව නිපැයුම් එළිදක්වා ඇති අතර එවැනි නිපැයුම් ප්‍රමණයක් එළිදැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමණි රණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම නිපැයුම් වෙළඳ පොල වෙත හදුන්වා දීම සිදුවිය.

එක් කන්නයක අතිරික්ක වන නමුත් තවත් කාලයකදී හිඟතාවයට බදුන් වන ආහාර බෝග මේ සඳහා යොදා ගත් බවත් හදුන්වා දුන් නව ආහාර නිපැයුම් මගින් වෙළඳ පොල  සැපයුම සමතුලිත කළ හැකි යැයි ආහාර පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

සහල්, කොස් ඇට, බතල, බීට්, කැරට්, සෝයා බෝංචි සහ රට කජු යොදා ගනිමින් මෙම ආහාර නිපදවීම කළ බවත් ආහාර නිෂ්පාදන තාක්ෂණය හා නව නිපැයුම්වල පේටන්ට් අයිතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු යැයි ද ඒ මහතා කීවේය. අයිතිය තමන් සතු වුවත් නිෂ්පාදන තාක්ෂණය, පුහුණුව හා වෙළඳ පොල හදුන්වාදීම මහජනයාට ලබා දෙන බව කී ඒ මහතා පුහුණූව ලැබීමට කැමති පිරිස් සඳහා කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන බව ද කීවේය.

සෝයා බෝංචිවලින් සකස් කරන ලද යෝගට්, රයිස් මිල්ක් ෂේක් වැනි ආහාර ඉදිරියේදී ජනප්‍රිය වනු ඇති බව සඳහන් කළ ඒ මහතා මෙම සියලු ආහාර කිසිදු රසායනික ද්‍රව්‍යයකින් තොරව සෞඛ්‍යාරක්ෂීතව නිපදවා ඇතැයි ද තව දුරටත් කීවේය.

එහිදී අදහස් දැක්වූ කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමණි රණතුංග මහත්මිය, Lab to Market නමින් හදුන්වන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය ඔස්සේ නිපදවන ආහාර සෘජුව වෙළඳ පොලට යොමු කිරීමේ ක්‍රමයක් සකස් කොට ඇතැයි කීවාය.

මේ වන විටත් මෙම ආහාර ඇණවුම් කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසයක ආයතන කිහිපයක් ඉදිරිපත් වී සිටින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *