ශ්‍රී දළඳා මාලිගාවේ තේවාව ඉදිරි වර්ෂය සඳහා අස්ගිරි පාර්ශවයට පවැරීම – නදීක දයා බණ්ඩාර

ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාර රාජකාරී මල්වතු මහ විහාර පාර්ශවයෙන් අස්ගිරි මහ විහාර පාර්ශවය වෙත සාම්ප්‍රදායිකව මාරුවීම  (21) පස්වරුවේ සිදුකෙරිණි.

දන්තධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරන තේවාව භාර රාජකාරී වර්ෂයකට වරක්  එක්‍ විහාර පාර්ශවයක සිට අනෙක් පාර්ශවය වෙත මාරුවන අතර එය සිදුවන්නේ සෑම ඇසළ පොහොය දිනකට පසුදින ය.

ඒ අනුව ඉදිරි ඇසළ පෝය දක්වා තේවාව භාර කටයුතු අස්ගිරි විහාර පාර්ශවය විසින් සිදුකරනු ඇත.

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ලේකම්තැන විසින් වට්ටෝරු පොතට අනුව භාණ්ඩ ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු තේවාව සඳහා පත්වන නායක හිමියන් වෙත නිල වශයෙන් එම භාණ්ඩ භාරදීම සිදුකරයි.

තේවාව භාර නායක හිමියන් දළඳා මැදුරේ විහාරාධිපතිහිමියන් බවට පත්වන අතර උන්වහන්සේ විසින් පත්කරන භික්ෂූන් වහන්සේ පස් නමක දළදා පූජාවන් නොඅඩුව සිදුකිරීමට වගබලා ගනිති. ඒ අනුව තේවාව භාර නායක හිමියන් වශයෙන් මහියංගණය රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරතන හිමියන් පත්විය.

පල්ලේමාලයේ තේවාව කරන හිමිනමකට ඉහළ මාලේ තේවා කටයුතු සදහා සහභාගීවීමට අවස්ථාව නොලැබෙන අතර පල්ලේමාලේ තේවාව කිරීම ඉහළ මාලේ තේවාව කිරීම සදහා හිමිවන පූර්ව පෙරහුරුවකි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පල්ලේමාලයේ විහාරාධිපතිධූරය සඳහා මෙහිදී පත්විය.

තේවාව භාරදීමේ අවස්ථාව සදහා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,  නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමි ඇතුලු මල්වතු හා අස්ගිරි පාර්ශවයන් නියෝජනය කරමින් මහා සංඝරත්නය සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *