කප් සිටුවීමෙන් ඇසළ පෙරහැර අගෝස්තු මස ආරම්භ වේ. – නදීක දයා බණ්ඩාර

වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් චාරිත්‍රානුකූලව සිදුකරන වර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය මෙවරත් උත්කර්ෂවත් අයුරින් සිදුකරන බව දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

අගෝස්තු මස 05 වන දින අලුයම යෙදෙන සුභ මොහොතින් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් වාර්ෂික ඇසළ පෙරහැර ආරම්භ වන බව නිලමේවරයා තව දුරටත් පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහැර සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්යය ගොඩනැගිල්ලේදී පැවැති සාකච්ඡාවේදී ය.

නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි දේවාල අභ්‍යන්තර පෙරහැර අගෝස්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා පැවැත්වෙන බව කී ඒ මහතා පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 10 වන රාත්‍රී වීදි සංචාරය කරන බව පැවසුවේය.

අගොස්තු මස 10 වන දින සිට 14 දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි. එම මස 15 වන දින පළමු රන්දෝලි පෙරහැර ගමන් ගන්නා අතර 19 වන දින අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන බව දියවඩන නිලමේවරයා කීවේය.

අවසන් රන්දෝලි පෙරහැර ගමන් ගැනීමෙන් පසු සධාතුක පෙරහැර කරඩුව සහිත පෙරහැර අස්ගිරිය ඓතිතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයට ගමන් කොට එහි කරඩුව තැම්පත් කිරීම සිදුකරයි. අනතුරුව සිව් මහා දේවාල මහ පෙරහැරින් ගැටඹේ දියකපනා ගං තොටට ගොස් එහිදී දිය කපා පසු දින එනම් අගොස්තු මස 20 වන දින දහවල් පෙරහැර පවත්වා පෙරහැර සන්දේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැර මංගල්‍ය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තව දුරටත් පැවසුවේය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹූල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, සිව්මහා දේවලයන්හි බස්නායක නිලමේවරුන්, මහනුවර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරු ඇතුලු නිලධාරීන් හා පෙරහැර රාජකාරී භාර සෙසු නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *