වනාන්තර රැක ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය – නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය තුළ සිදුවන අනවසර අත්පත්කර ගැනීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා පවසයි.

ඩ්‍රෝන තාක්ෂණික නිරීක්ෂය මගින් ලබා ගන්නා දත්ත ඔස්සේ වැරදිකරුවන්ට  නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් එවැනි සිද්ධි නීරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මහනුවර, උඩවත්ත කැලේ රක්ෂිතය තුළ සංචාරකයන් සඳහා පාපැදියෙන් නිරීක්ෂණය කිරීමට හැකි නව වැඩසටහනක් දියත් කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේය.

සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ ඒ මහතා සියයට 29ක් දක්වා අඩුවී ඇති මෙරට වන ගහණය 32%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මහනුවර ඇතුලු දිස්ත්‍රික්ක ගණනාවක කැලෑ ගිනි තැබීම් නිසා වනාන්තර පද්ධතියට හානි සිදුවන බවත් එවැනි තත්ත්වයන් වැළැක්විම සඳහා මහජනය දැනුවත් කරන බවත් හෙතෙම පැවසීය. මේ අතර වන සංරක්ෂණ කලාප ආරක්ෂා කර ගැනීම මෙන්ම දිවයින පුරා විසිරී ඇති එවැනි පරිසර පද්ධති වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

සංචාරකයන් සඳහා පා පැදි ආධාරයෙන් උඩවත්ත කැලේ නිරීක්ෂණය කිරීම සඳහා දියත් කළ මෙම වැඩසටහන යටතේ පා පැදි 10ක් යොදවා තිබුණු අතර දේශය හා විදේශීය සංචාරකයන් සඳහා එම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මහනුවර පා පාදි සංගමයේ සාමාජිකයන්  හා සංචාරකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *