ප්‍රතිපත්ති පූජාවන් සඳහා මුල් තැන ලබා දීම ඉතා වැදගත් – මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් සිය වෙසක් පණිඩුවය ලබා දෙමින් සඳහන් කරයි. නදීක දයා බණ්ඩාර – මහනුවර

ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවාසි ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් පැමිණ තිබෙන බැවින් බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැර වීම වැදගත් යැයි ද උන්වහන්සේ කීහ.
මෙවර වෙසක් සැමරුම සම්බන්ධයෙන් මල්වතු මහ විහාර පාර්ශවය වෙනුවෙන් සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් උන්වහන්සේ එහි මේ බව සඳහන් කළහ.
ශ්‍රී ලංකා වාසි බෞද්ධ අබෞද්ධ සියලු ජනතාව යහපත් දේ හැකි ආකාරයට අනුගමනය කරමින් වෙසක් සමය සැමරීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි කී උන්වහන්සේ එහි දී ප්‍රතිපත්ති හා ආමිස ලෙස පූජා විධි දෙකක් අනුගමනය කළ හැකි වුවත් වඩාත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි යැයි පැවසූහ.
ශීල භාවනාව, පන්සිල්, අටසිල් හා දසසිල් සමාදන්ව ශීලය රැකගෙන වෙසක් දිනය සැමරී වඩා වැදගත් බවත් ඒ අතරතුර ආමිස පූජාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු යැයි අනුනායක හිමි පැවසීය.
දන්පැන් පූජා කිරීම, දන්සැල් පැවැත්වීම, දුගී මගී යාචකාදීන්ට සැලකීම වැනි දෑ සිදු කිරීම වැදගත් යැයි පෙන්වා දුන් උන්වහන්සේ මෙම කාල පරාසය තුළ අප ගත කරන ජීවිතය ඉතාමත්ම අසීරුයැයි ද කීහ. ආර්ථික අතින් අසීරු කාලයක් ගත කරන නිසා කෑම බීම මිලට ගැනීම සම්බන්ධයෙන් පවා ගැටලු මතුවෙන බවත් එවැනි පසුබිමක විශාල ධනස්කන්දයක් යොදවා වෙසක් සැමරීම උචිත නොවන බව අනුනායක හිමියන් වැඩිදුරටත් පැවසූහ.