වෙසක් කලාපය නිමිත්තෙන් මහා සංඝරත්නය පන්සිය නමක් මහනුවර වීදි ඔස්සේ පිඩුසිඟා වැඩීමක් – නදීක දයා බණ්ඩාර

සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව පන්සිය නමක් මහා සංඝරත්නය පිඩු සිඟා වැඩීම හා උන්වහන්සේ සඳහා දන් පිළිගැන්වීමේ පුණ්‍ය කර්මයක් අද (21) මහනුවර නගරයේ සූදානම් කරන ලද ස්ථාන පහකදී අද සිදු කෙරිණි.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට පන්සිය නමක් වන මහා සංඝරත්නය දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, මහනුවර මූලස්ථාන පොලීසිය, නාගරික සංවර්ධන අධිකාරිය හා හේමමාලී බාලිකා විද්‍යාලයේ සූදානම් කොට තිබුණා දාන ශාලාවෙත වැඩම කොට දන් වැළදීම සිදුවිය.

සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ආශිර්වාද මත අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පිඩුසිඟා වැඩීමේ පුණ්‍ය කර්මය ක්‍රියාත්මක විය.

 මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, කඩවත් සතර සහ ගඟවට කෝරළය ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් වෙසක් උදානය ක්‍රියාත්මකය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති ආගමික වැඩසටහන දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවිය.

සිය නමක් විෂයෙහි සංඝඝත දක්ෂිණාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ක්‍රියාත්මක වූ අතර එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ලලිත් ඇටම්පාවල, නිලූකා බුලත්ගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *