කීට විද්‍යාත්මක සමීක්ෂණ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් – නදීක දයා බණ්ඩාර

කීට විද්‍යාත්මක සමීක්ෂණය අනුව ඉදිරි මාසය තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විමසිලිමත් විය යුතු යැයි මහනුවර දිස්ත්‍රික් ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය  ක්‍රිෂාන්ත මාසාච්චි මහතා පවසයි.

ඩෙංගු රෝගීන් නම දෙනෙකු මෙම වර්ෂයේදී මරණයට පත්ව ඇති නමුත් මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් කිසිදු මරණයක් වාර්තාවී නොමැති බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඩෙංගු රෝග මර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් දත්ත ඉදිරිපත් කරමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දත්ත අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මස අවසන් වන විට ඩෙංගු රෝග හේතුවෙන් පුද්ගලයන් 1547ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇතැයි පෙන්වා දුන් ඒ මහතා ඉන් රෝගීන් 232ක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසය තුළදී යැයි ද කීවේය.

අප්‍රේල් මස අවසන් සතියේදී ඩෙංගු රෝගීන් 72ක් වාර්තාවී ඇති බවත් ඉන් රෝගීන් 15ක් මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් නම් කොට ඇති ඩෙංගු අධි අවදානම් කලාප හතරට මහනුවර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශය අයත්වන බව කී වෛද්‍යවරයා, සෙසු වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ද මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු යැයි කීවේය.

කීට සමීක්ෂණ අනුව මැයි අග හා ජූනි මාසයේදි ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක් කරා පැමිණිය හැකි බැවින් පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ රෝග ව්‍යාප්තිය පිළීබදව දැඩි විමසිලිමත් විය යුතු බවට මේ වන විට දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

වාර්තාවූ රෝගීන් හා ඔවුන්ගේ රෝග පසුබිම පිළිබදව දැඩි නිරීක්ෂණය මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම වඩා පහසු වන බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *