සගම රජ මහා විහාරයේ වාර්ෂික කිරිබොඩ පාත්‍ර පූජාව සඳහා මල් පෙරහැර හා දන්තක් මාරු පෙරහැර – නදීක දයා බණ්ඩාර

එතිහාසික සගම රජමහ විහාරය කේන්ද්‍ර කෙට වාර්ෂිකව පැවැත්වෙන කිරිබඩ පාත්‍ර පූජාව සඳහා දන්කත් මාරු කිරීමේ පෙරහැර  එම රජමහ විහාරයේදී පැවැත්විණි.

ගොඩමුන්න හා කපුලියද්ද ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් සිය සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලට මෙම පෙරහැර ආරම්භ කෙරිණි.

විහාර අස්නේ පළමු රජමහ විහාරය වන සගම රජමහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වෙන මෙම පූජාව සිංහල අලුත් අවුරුද්ද ගෙවී දින තුනකට පසු ආරම්භ වන, මෙරට පළමු වාර්ෂික පෙරහැර ද වේ.

කපුලියද්ද හා ගොඩමුන්න ගම්වාසීන් සිය ගම්මානයේ සිට දින පහක කාලයක් මෙම පූජාව ඉටු කිරීම වෙනුවෙන් මල් පෙරහැර පවත්වති. ඒ ඒ ගම්මානවලට ආවේණික චාරිත්‍රවලට මුල් තැන දී මල් පෙරහැර  පවත්වන අතර අනතුරුව බුදු මගුල් පෙරහැර හෙවත් දන්කත් මාරු පෙරහැර පවත්වන්නේ එම චාරිත්‍රය සඳහා යොදා ගන්නා පාරම්පරික පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව අලි ඇතුන්ගෙන් සමන්විත අවසන් මල් පෙරහැර ඉකුත්දා  සගම රජමහ විහාරය කරා ගමන් ගැනීම සිදුවිය.

පසුව බූටාවත්ත, ගොඩමුන්න, නුගලියද්ද හා කපුලියද්ද යන සතර පේරුවේ ගම්වාසීන් එක්ව පුරුෂයන් පමණක් සහභාගීවන හම්බාකෙටීම නොහොත් වී කෙටීමේ මංගල්‍යයන් ගොඩමුන්න හා බූටාවත්ත යන ධර්මශාලාවලදී පවත්වා පසු දින කිරිබඩ පාත්‍රා පෙරහැර හා බුද්ධ පූජාව පවත්වා මෙම වර්ෂයේ වාර්ෂික හම්බාකෙටීමේ මංගල්‍ය අවසන් කරති.

මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය සඳහා කැප වූ පාරම්පරික පවුල් 09ක් සම්බන්ධවන අතර ඔවුන් එම පූජාව සඳහා පේවී සහභාගීවීම අනිවාර්යය සිරිතකි.

සගම රජමහ විහාරාධිපති පූජ්‍ය නාපාන සද්ධර්මකීර්ති සරණංකර විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *