ඉන්දීය හින්දු ආගමික ප්‍රධානී පූජ්‍ය ස්වාමී ශ්‍රී ගෝවින්දා දේව් ගිරි ජී මහාරාජ් හිමි මහනුවර දී මහා නායක හිමියන් බැහැ දකී. නදීක දයා බණ්ඩාර

ඉන්දීය හින්දු ආගමික ප්‍රධාන පූජක, උත්තර ප්‍රදේශයේ ආයෝධ්‍යා කෝවිලේ ආගමික ප්‍රධානී පූජ්‍ය ස්වාමී ශ්‍රී ගෝවින්දා දේව් ගිරි ජී මහාරාජ් ස්වාමීන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම ඊයේ (22) සිදුවිය.
ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්, පිච්ච මල් වට්ටියක් පිළිගන්වා ප්‍රධාන පූජකවරයා පිළිගන්නා ලදි. එහිදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු ස්වාමීවරයා අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවක නිරතවූහ.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණී ප්‍රධාන පූජකවරයා එහිදී මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ ද සුහද පිළිසඳරක නිරතවූහ.
ලෝක සාමය තහවුරු කිරිම සඳහා කළ හැකි එකම ක්‍රමවේදය වන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ක්‍රියාත්මක කිරීම යැයි ද ප්‍රධාන පූජකවරයා මහා නායක හිමියන් හමුවේ පැවසීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික බැදීම සියවස් ගණනාවක අතීතයට දිව යන බව සිහිපත් කළ ප්‍රධාන පූජකවරයා, ලෝක සාමය සුරක්ෂීත කිරීම සඳහා ඇති එකම දේශනාව බුදු දහම බැවින් එය ලෝ පුරා ව්‍යාප්ත කිරීම සඳහා තමන් ද දායක වන බව කීහ.
මිලියන 900කට අධික අනුගාමිකයන් පිරිසක් තමන්ට ලෝ පුරා සිටින බව කී හෙතෙම, අයෝධ්‍යා කෝවිලේ හින්දු ආගමික සිද්ධස්ථානය මගින් දිනකට පුද්ගලයන් ලක්ෂ 04කට අධික ප්‍රමාණයකට නොමිලේ ආහාර පාන ලබා දෙන බව ද තව දුරටත් ප්‍රකාශ කළේය.