නාමල්ට තව කල් වැඩියි. මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අලදෙණියේදී කියයි. – නදීක දයා බණ්ඩාර

නවීන ලෝකය සමඟ ගනුදෙනු කර අත්දැකීම් බහුල වුවත් නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට තවමත් කල් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
වර්ෂ 2030 දී පමණ ඔහුට ජනාධිපතිධුර අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය හැකි යැයි ද ගුණතිලක රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර අලදෙණියේ පිහිටි 444 වන සතොස නව ශාඛාව විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් වූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදුවිය.
එම උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
ඉදිරි මැතිවරණයේදී තනියම ඉල්ලනවා ද සන්ධානගත වෙනවා ද යන්න පක්ෂ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරාවි. නමුත් ඒ සඳහා තවම කල් වැඩියි. නියමිත කාලය එළඹුණු විට තීරණය කරන්න පුළුවන්.
තරුණ බලමුළු ශක්තිමත් කරමින් නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරන බව පේනවා. අද තංගල්ලේදිත් එවැනි වැඩසටහනක් ආරම්භ වෙනවා.
දක්ෂ තරුණ නායකයෙක් වුවත් ඔහුට ඉදිරිපත් වීමට තවමත් කල් වැඩියි. ඉදිරි අවස්ථාවේදී ඔහුට ඒ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්.
මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් එළඹුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව ගුණතිලක රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.