ගොවිතැන ඉතාම අසීරු කාලපරිච්ඡේදයකට පත්වී, ගොවීන් ජීවිත තර්ජනයකට මුහුණ දී සිටින අවස්ථාවක දී ජීවත්වීම සඳහා ගොවීන් සිය ඉඩම් උගස්කරන්නට , බදු දෙන්නට සූදානම්වන අවස්ථාවක, ආණ්ඩුව රටේ සම්පත් සියල්ල විකුණා දමන වැඩපිළිවෙල යටතේ ගොවිජනතාවගේ ‘ඉඩම් සඳහා නිත්‍යාණූකූල අයිතියක් ලබාදීමේ උරුමය’ නම් වු ආණ්ඩුවේ වැඩපිළිවෙල, ගොවිජනතාවගේ ඉඩම් උදුරාගැනීමේ වැඩපිළිවෙලක් යැයි ඉඩම් හා කෘෂිකර්මාන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
පොහොර, බීජ, යන්ත්‍රසූත්‍ර ඇතුලු සියලුම ගොවි යෙදවුම්වල මිළ අධික ලෙස ඉහළ ගොස් ඇති කාලපරිච්ඡේදයකදී, ගොවිතැන් කිරීම ඉතාම අපහසු කාලපරිච්ඡේදයකදී, ගොවි ඉඩම්වල සම්පූර්ණ අයිතිය ලබාදීම තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ ගැටයට අසරණ ගොවින් හසුකරගැනීම අරඹා ඇති බවත් ඒ උගුල පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආයෝජකයින් හා ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මොන්ලාර් නියෝජිතයින් ප්‍රකාශ කළහ.
“ශ්‍රී ලංකාවේ පැරණි ඉඩම් ප්‍රතිපත්ති සහ ඉඩම් වෙළෙඳපළ අකාර්යක්‍ෂම හා අංසවර්ධිත තත්ත්වයක නිර්මාණය කර ඇත. ඒබැවින් සක්‍රීය ඉඩම් වෙළෙඳපොලක් බිහිකිරීම සඳහා මේ ප්‍රතිපත්තිමය වෙනස හඳුන්වා දිය යුතුය” යන්න 2018 යහපාලන ආණ්ඩුව සමයේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත්කර ඇති, “2025 දී ශ්‍රී ලංකාව පොහොසත් රටක්” යන ලියවිල්ල උපුටා දක්වමින් මොන්ලාර් ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ විසින් “උරුමය ඔප්පු බෙදා දීමෙි ජනාධිපතිවරයාගේ කඩිනම් පියවර ගැන” පැහැදිළි කළේය.
එපමණක් නොව, ඒ අවධියේ ඉදිරිපත් කළ ඉඩම් බැංකු පනත තුළින්ද මෙරට තිබෙන ඉඩම් අත්පත් කරගැනිමේ පසුබිම පැහැදිළිව සඳහන්කර ඇති බව සිහිපත් කළ චින්තක රාජපක්‍ෂ, එවකට එම ඉඩම් සඳහා ලබාදී තිබුණේ බලපත්‍ර , දීමනා පත්‍ර පමණක් බැවින් ආණ්ඩුවට අවශ්‍ය පරිදි එම ඉඩම් අත්පත් කරගැනීමට නිත්‍යානූකූලභාවයක් නොතිබුණු බව කීවේය.
“නමුත්, පෙබරවාරි 05 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව, ඉඩම් පැවරීම පමණක් නොව සින්නක්කර අයිතිය ලබාදෙනවා. නමුත් ඒ අයිතිය ගොවිතැන දියුණු කරන්නවත් , ගොවියා මූලික වෙලා කෘෂිකර්මාන්තය දියුණූකරන්නවත් නොවෙයි” යැයි චින්තක පැවසීය.
උරුමය වැඩපිළිවෙල යටතේ මේ සින්නක්කර ඔප්පුව ලබාදෙන්නේ ගොවිතැනට නොව , වාණිජ වගාවට පමණක් බව වත්මන් ඉඩම් කොමසාරිස්වරිය ද නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කර ඇති බව සදහන් කළ මොන්ලාර් මෙහෙයුම්කරු, “අපනයනය ඉලක්ක කරගත් වාණිජ වගාව ඇතිකරන්න බලාපොරොත්තු වන බවත් ඇය කීවා.” යැයි ඔහු කීවෙිය.
වාණිජ කෘෂිකර්මාන්තය යනු, සාමාන්‍ය ගොවියෙකු තමන්ගේ අක්කර භාගයක, අක්කරයක , දෙකක, තුනක කරන සාමාන්‍ය ගොවිතැනක් නොව, අක්කර දහස් ගණනින් කරනු ලබන බඩඉරිගු වගාව , කෙසෙල් වගාව වැනි වගාවන් මෙන් ම, සෝලා පැනල් දැමීම , ගල් කොරි දැමීම යනාදි අතී විශාල ආයෝජන වන බව ද ඔහු පෙන්වා දුණි.
“සාමාන්‍ය ගොවියෙකුට අවශ්‍යකරන්නේ තමන්ගේ ඉඩම ආරක්‍ෂාකරගෙන, තමන්ගේ ජීවිකාව සහ අනාගතය ගොඩනගා ගන්න අවශ්‍ය කරන අයිතිය සහ පසුබිමයි. නමුත් ගොවියාගේ ඒ බලාපොරොත්තුව ජනාධිපතිගේ මේ උරුමය වැඩපිළිවෙළෙන් ඉෂ්ට වන්නේ නැහැ.” යනුවෙන් චින්තක රාජපක්ෂ පැහැදිළි කළේය.
“ඒ නිසා අපි මේ රටේ ගොවීන්ට කියනවා මේ ආණ්ඩුව නැවත වාරයක් ඔබව රවට්ටන්න හදන්නේ. මේ ගන්න උත්සාහය තුළ ගොවියාට උරුමයක් නොව කරුමයක් හිමිවන්නයි යන්නේ. ඒ සඳහා ආරම්භයක් තමයි ජනාධිපතිවරයා
05වෙනිදා දඹුල්ලේදි ආරම්භ කළේ “
“මේ උරුමය ඔප්පු ලබාදීම තුළ , ඉඩම් සඳහා සින්නක්කර අයිතියක් ඉඩමට ලබාදීලා, එය නිදහස් වෙළෙඳපොල ඇතුලේ සොච්චම් මුදලකට ඕනෑම ආයෝජකයෙකුට, ඕනෑම බැංකුවකට
ඕනෑම මුදලාලි කෙනෙකුට ලබාගන්න හැකි තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. සින්නක්කර ඔප්පුව ලබාදීමේ සැබෑ වාසිය හිමිවන්නේ ගොවියාට නොව බැංකුවට” යැයි මොන්ලාර් මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දුණි.
පෙබරවාරි 05 වැනිදා, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “උරුමය” වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස ගොවීන් වෙත ඉඩම් සඳහා මූලික සින්නක්කර හිමිකම් 10,000ක් බෙදා දෙන ලදී.
රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී පැවති මෙකී උත්සවය අමතමින් “තමන්ට පමණක් නොව අනාගත පරපුරටද මෙම අයිතිය සුරකින ලෙසට ඔප්පු පිරිනැමූ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇස්තමේන්තුගත ගොවි පවුල් මිලියන 2කට සෙත සැලසෙන ‘උරුමය’ වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා අැති අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අයවැය මඟින් රුපියල් බිලියන 2 ක් වෙන් කර ඇත. ඉඩමේ පූර්ණ අයිතිය අපේක්ෂා කරන අයදුම්කරුවන්ට ප්‍රධාන අදියර තුනකින් සින්නක්කර හිමිකම් ලබාදීමට නියමිතය.
මොන්ලාර් හී පර්යේෂක, සජීව චාමිකර ද මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, රට තුළ ඉඩම් සම්බන්ධයෙන් පනත් දෙකක් පවතින අතර, ඒ යටතේ එන ක්‍රියාවලියක්, අලුතින් පනතක් ගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ඒ හරහා ක්‍රියාත්මක කරනවා වෙනුවට , පනත් දෙකක ඇති නෛතික තත්ත්වයන් වැරදි ලෙස ච්‍රකලේඛයක් හරහා නීතිගත කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම, පවතින නීති රීති සම්පූර්ණයෙන් ම උල්ලංඝණය කිරීමක් බවයි. එබැවින් එය නීති විරෝධි ක්‍රියාවක් බවයි.
“මේ නීති විරෝධි තත්ත්වය තුළ ගොවීන්ට ලබාදෙන මෙි ඔප්පුවල පරම අයිතිය කියන එක කිසිම ආකාරයකින් ලැබෙන්නේ නැහැ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මේ වැඩපිළිවෙල යටතේ නැවත වරක් ගොවීන් මුලා කිරීමක් , ඒ මුලාකිරීම තුළ දේශපාලන වාසි ලබාගැනීම මෙන් ම, ඉදිරියේ දී පවත්වන මැතිවරණ ඉලක්ක කරගිනිමින් මෙම උරුමය වැඩපිළිවෙල ඉතා කඩිනමින් ආරම්භකර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ගොවිජනතාවට පරම අයිතිය සමග නිවරැදි ඔප්පු ලබාදීම , ගොවිතැනට අවශ්‍ය ජලය ඇතුලු සියලු පහසුකම් ලබා දී කෘෂිකර්මාන්තය ආරක්‍ෂාකරනවා වෙනුවට ක්‍රමයෙන් ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරිම සිදුකරන්න පියවර ගැනීමක් ලෙසට උරුමය වැඩපිලිවෙල සම්බන්ධව පර්යේෂක , සජීව චාමිකර අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දක්වමින්, මේ ඔප්පු ලබාදීමේ ආකාරය මත, කෘෂිකර්මාන්තයෙන් ගොවියා ක්‍රමක් ක්‍රමයෙන් ඉවත් වූ විට මහ පරිමානයෙන් ජලය ඉතිරිවන බවත් එම ජල අතිරික්තකය සමගින් ජලය විකිණිමේ ක්‍රියාවලිය පහසුවන බවත් මහපරිමාණ සමාගම්වලට ජලය සහිත ඉඩම් ලබාදීමට පහසු වන බවත් සජීව චාමිකර පෙන්වා දුණි.