රෝපණය සඳහා සකස් කළ පුවක් පැළ මිලියනයක් මෙම වර්ෂයේදී ගොවියන් සඳහා

රෝපණය කිරීම සඳහා මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක්  සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පවසයි.

දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දිවයින පුරා පිහිටි පැළ තවාන් මගින් මෙම පැළ නිකුත් කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

මේ වන විට හෙක්ටයාර් 500ක පමණ භූමි ප්‍රමාණයක ප්‍රධාන භෝගයක් වශයෙන් පුවක් වගා කරන බවත් ගෙවතු හා කුඹුරු ආශ්‍රිතව පුවක් හෙක්ටයාර් 700ක පමණ භූමියක වගා වන බව ද දිස්නා මෙනවිය පැවසුවාය.

වාණිජ වගාවක් වශයෙන් වගා කිරීමේදී හෙක්ටයාරයක් සඳහා පුවක් පැල 1700ක් වගා කළ හැකි අතර ජාත්‍යන්තර ඉල්ලුමට සාපේක්ෂව දේශීය පුවක් සැපයුම ඉහළ නැංවීමට ඉදිරි වර්ෂ කිහිපය තුළදී අපේක්ෂා කරන බව ද ඇය කීවාය. ප්‍රතිලාභීන් සඳහා පුවක් පැළ නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් වාණිජ වගාවන් සඳහා සහන මිලට පුවක් පැළ අලෙවි කිරීමට ද දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කොට තිබේ.

දේශීය පුවක් පැළයක් සිටුවා වර්ෂ 05කින් ද රට පුවක් පැළ සිටුවා වර්ෂ දෙකකින් ද ඵලදාව ලබා ගත හැකිය.

රෝපණය සඳහා පැළ අවශ්‍ය ප්‍රතිලාභීන් ඒ පිළීබද තොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු තොරතුරු මධ්‍යස්ථානයෙන් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලබා ගත හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *