මහනුවර බහුවිදි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් ඉදිරි සතියේදී ආරම්භ වේ. – නදීක දයා බණ්ඩාර

මහනුවර බහුවිදි මාදිලි ප්‍රවාහන යෝජිත පර්යන්තයට සමගාමීව මාර්ග පද්ධති 12ක් සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.

එම ප්‍රවාහන සංකීර්ණයේ ඉදිකිරීම් මෙම මස 27 වන දින ආරම්භ වන අතර එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් රජයෙන් ලබාදී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල මහතා පැවසීය.

මහනුවර ගුඩ්ෂෙඩ් පැරණි බස්රථ අංගනය සහ මහනුවර දුම්රිය පොල සම්බන්ධ කර ගනිමින් මෙම බහුවිදි ප්‍රවාහන පර්යන්තය ඉදි කෙරේ. ඒ යටතේ බෝගම්බර වැවරවුම අසල සහ දළඳා වීදියේ වයිට් හවුස් ගොඩනැගිල්ල අසල උමං මාර්ග ඉදිකරන බව පළාත් අධ්‍යක්ෂවරයා කීවේය.

උසස් බාලිකා විදුහල අසල සිට පේරාදෙණිය පැරණි මාර්ගයේ පදික මංතීරුව ඉදිකිරීම, සම්බෝධි මාවත මංතීරු දෙකකට පුළුල් කොට කාපට් ඇතිරීම ද මේ යටතේ සිදුවේ. බෝගම්බර වැව රවුම් මාවත සංවර්ධනය කිරීම, සුදුහුම්පොල මාවත මංතීරු දෙකකට පුළුල් කොට කාපට් ඇතිරීම, දුම්රිය පොලේ සිට ඔරලෝසු කණුව දක්වා මාර්ගය කාපට් යොදා සකස් කිරීම ද ඇතුලුව සංවර්ධන ව්‍යාපෘති මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක වන බව පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *