වින්දිතයින් අතර එකමුතුකම වර්ධනය කළ නත්තල් උත්සවය — මෙලනි මානෙල් පෙරේරා

“විවිධ ආකාරයේ පීඩාවන්වලට මුහුණ දූන් මොවුන් ඒකාකාරිව සිය නිවෙස්වල ගෙවන ජීවිතයෙන් මිදිලා , එක දවසකට හරි සියලුම දෙනා එකතුවෙලා සතුටුවෙන එක, මේ සියලුම දෙනා වසරක් පාසා ප්‍රාර්ථනා කරන දෙයක්. මේ නත්තල් සුහද හමුව තුළින් ඒ අය අතර එකමුතුකම වර්ධනය වෙනවා. ඔවුන් අතර ඉතා හොඳ බැඳීම් ඇතිකර ගන්නවා. ඉතිං ඔවුන්ගේ ඒ එකමුතුකමට, ආදරයට අපි නත්තල් සහ අලුත් අවුරුදු උත්සව තුළින් උදව් කරනවා”යැයි මහනුවර මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළේය.
වධ හිංසාවලට ලක්වූ වින්දිතයින් , ලිංගික අපයෝජන වලට ලක්වූ අය, අතුරුදහන්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජීකයින් , බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ පවුල්වල සාමාජීකයින් සහ නොයෙක් ආකාරයේ මානව හිමිකම් කඩවූ පුද්ගලයින් යන වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයින් වෙනුවෙන් , මහනුවර පදවියේ මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානයකොට වසරක් පාසා පවත්වන නත්තල් සුහද හමුව, මෙවර මහනුවර, කුණ්ඩසාලේ පාතිමා සිද්ධස්ථාන පරිශ්‍රයේ දී දෙසැම්බර් 20දා පැවැත්විණි.

අධ්‍යක්ෂක පියතුමාට අනුව, නත්තල් සුහද හමුවට පැමිණ නත්තලේ ප්‍රීතිය බෙදාගන්නේ ක්‍රිස්තියානි පවුල් පමණක් නොව, අති බහුතරය කිතුනු නොවන බෞද්ධ, හින්දු, මුස්ලිම් වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල අය වෙති.
“නත්තල කියන්නේ බෙදාගැනීම, තේරුම් ගැනීම, සමාව දීම සහ ආදරය වැඩි වැඩියෙන් අත්දකින්නට අපට ඉඩකඩ ලබාදෙන උත්සවයක්. අපි මේ නත්ත්ල් සුහද හමුව වසර 10ක පමණ සිට පවත්වාගෙන එන ඉතාම ප්‍රීතිමත් අවස්ථාවක්” යැයි පැවසූ නන්දන පියතුමා, ඔවුන්ගේ පීඩාව, ප්රශ්නය, වේදනාව හැමදෙනාටම පොදු දෙයක් මිස එකිනෙකා තනිවී නැති බව ඔවුන්ට දැනවීම මෙම නත්තල් සුහද හමුවේ තිබෙන තවත් එක් අරමුණක් යැයි කීවේය.
“ඇත්තටම අද අපිට හරිම සන්තෝෂ දවසක්, මොකද අපි හැම දෙනාම මොකාක් හෝ තද බල සිත්වේදනාවකින් , පීඩාවකින් මේ මොහොතේ ජීවත්වන අය. මෙතන ඉන්න සමහර අය වසර ගණනාවක් තිස්සේ යම් යම් ප්‍රශ්නවලින් වේදනාවලින් පෙළෙන අය. නමුත් මේ වගේ සුහද හමු තුළින් අපිට දැනෙනවා අපි තනිවෙලා නැහැ කියලා. ඒක අපිට ලොකු ධෛර්යයක්” , යනුවෙන් අදහස් ප්‍රකාශ කළ කිහිප දෙනෙක් සිටී අතර ඔවුන්ට නිර්ණාමිකව සිටින්නට අවශ්‍ය විය.
තමන්ගේ ජීවිතයේ අත්දැකීම් බෙදාගැනීම්, විවිධ දක්ෂතා හෙළිදැක්වීම් සහ විවිධ ප්‍රසංගයක් තුළින් සතුට බෙදාගෙන නත්තල් ත්‍යාග ලබාගනිමින් මානව හිමිකම් ආයතනය හා සම්බන්ධ පවුල්වල වයෝවෘද්ධ පුද්ගලයින්ගේ සිට කුඩා ම දරුවන් තෙක් සියලුම දෙනා මෙදින ඉතාම ප්‍රීතිමත්ව ගතකළ දවසක් වූ බව වින්දිතයින් සැමගේ අදහස විය.

එමෙන්ම, අතුරුදහන්වු සිය සොයුරා වෙනුවෙන් අදහස් බෙදාගත් එක් සොයුරියක් ප්‍රකාශ කළේ, “එදා මගේ අප්පචිචි තමයි මගේ මල්ලි වෙනුවෙන් මේ අවස්ථාවන්වලට සහභාගි වුණේ. මහනුවර ජයසිංහ සාප්පුවේ සේවය කළ මගේ මල්ලීව සුදු වෑන් එකකින් ඇවිත් කටුගස්තොට පාලම ලගදි පැහැර ගත්තා. මල්ලීව සොයාගන්න අපි ගොඩාක් වෙහෙසුනා. අපි මල්ලි වෙනුවෙන් ගොඩක් දුක්වින්දා. බූස්සේ කඳවුරුට වෙනකම් අපි මල්ලිව සොයන්න ගියා. නමුත් අද වෙනතුරු මල්ලි ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ” යුනවෙනි.
මෙකී සිද්ධිය සමගින් මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සහය ලබාගන්නට හැකිවීම ඉතාම අගයකොට දැක්වූ ඇය, කාර්යාලයෙන් ලබාදෙන ශක්තිය සහ මගපෙන්වීම් නිසා ම මෙවැනි අවස්ථාවන් වලදි ඉදිරියට පැමිණ කථාකරන්නට පවා හැකියාව ලද බවට ස්තූතිපූර්වකව සිහිපත් කළේය.