ඉරිතලා අවදානම් තත්ත්වයට පත් වූ අන්තෝනි බාලිකාවේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්  වාර්තාවක් කැඳවීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

පංති කාමර කිහිපයක ඇති වූ ඉරිතලා යාම් හේතුවෙන් අවදානම් තත්ත්වයට පත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ලේ තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක් ලබා ගැනීමට තීරණය වී තිබේ.

දැරියන් 600ක් පමණ ඉගෙනුම ලබන එම ගොඩනැගිල්ලේ පංති කාමර කිහිපයක හදිසි ඉරිතලා යාම් සිදුවී ඇති අතර මේ හේතුවෙන් එහි ඉගෙනුම ලබන 08, 09 හා 11 වසරවල දැරියන් සඳහා පාසල් පරිපාලනය මගින් නිවාඩු ලබාදී තිබේ.

පංති කාමර 11කින් පමණ සමන්විත එම ගොඩනැගිල්ල මේ වන විට වසා දමා ඇති අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ  එම ස්ථානය ක්ෂේත්‍ර නිරීක්ෂණයට ලක් කොට ඇත.

ඒ අනුව අවදානම් සහිත ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ලබා ගැනීමට නියමිත යැයි ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරී මඩුල්ලක් අද එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ බවත් නුදුරේදී ඒ සම්බන්ධ වාර්තාව ලැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පැවසීය.

අවදානම් තත්ත්වය හේතුවෙන් පංති අහිමි වන දැරින්ට ඊට නුදුසු රිෂිකලා සෞන්දර්යය විද්‍යාලය හා මාවිල්මඩ විදුහලේ අධ්‍යාපනය ලැබිමට අවස්ථාව ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *